ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමා සම්මාන උලෙළ

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමා සම්මාන උලෙළ

‘දිනමිණ’ රඟමඬල චිත්‍රපට තරගයයි සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහිවුණු කීර්තිමත්ම චිත්‍රපට විචාරකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන ජයවිලාල් විලේගොඩ බිහිකරන ලද්දේ ‘දිනමිණ’ පුවත්පත විසිනි. ජයවිලාල් සිනමා විචාරයට ප්‍රවිෂ්ට වූයේ 1953 දීය .

‘ දිනමිණ’ පුවත්පතේ ශත සංවත්සරයේ දී එම පුවත්පත මඟින් සිංහල සිනමාවේ අභ්‍යුදයට වූ යුග කාරක මෙහෙවර සලකා බැලීම ඉතා වැදගත් ය. ‘දිනමිණ’ පුවත් පතේ ඉතිහාසයත් සිනමා ක්‍රම විකාශනයත් පිරික්සා බලන කල්හි ‘රඟමඩල’ යනුවෙන් එය නම් කෙරුණු ‘දිනමිණ’ සිනමා කලා පිටුවෙන් සිංහල සිනමාවේ අභිවර්ධනයට දෙආකාරයකින් සේවාවක් ඉටු වූ ආකාරය දැක්ක හැකිය. ඉන් එකක් නම් පුරෝගාමි කටයුත්තකි. එනම්; ශශ්‍රී ලංකාවේ පළමු වතාවට සිනමා සම්මාන උළෙලක් පැවැත්වීමයි. අනික ජයවිලාල් විලේගොඩ වැනි කීර්තිමත් සිනමා විචාරකයකු ලියූ චිත්‍රපට විවේචන යි.

මෙරට ප්‍රථම වතාවට සිනමා සම්මාන උළෙලක් සංවිධානය කිරීමේ පුරෝගාමී ගෞරවය හිමිවන්නේ ‘දිනමිණ’ පුවත්පතට ය. ඒ 1956 වසරේදී ය. මේ චිත්‍රපට උළෙල නම් කෙරුණේ දිනමිණ රඟමඩල චිත්‍රපට තරගය යනුවෙනි. සම්මාන උළෙල 1956 මාර්තු මස 2 වැනි දින කොළඹ රාජකීය විද්‍යාල ශාලාවේ දී පවත්වා ඇත. සම්මාන සඳහා සලකා බැලුණේ 1953 සිට 1956 වර්ෂය දක්වා ප්‍රදර්ශිත චිත්‍රපට ය. පාඨක ඡන්දයෙන් සම්මාන පිළිගැන්විණි.

‘දිනමිණ’ රඟමඩල චිත්‍රපට සම්මාන උළෙලේ පි‍්‍රයතම චිත්‍රපටය ලෙස ‘කැලෑහද’ සම්මාන හිමිකර ගත් අතර පි‍්‍රයතම නළුවා ලෙස ප්‍රෙම් ජයන්ත ද පි‍්‍රයතම නිළිය ලෙස රුක්මණී දේවි ද පි‍්‍රයතම ගීතය ලෙස ‘සුජාතා’ චිත්‍රපටයට ඇතුළත් වූ මනරංජන දර්ශනීය ලංකා ගීතය ද සම්මාන දිනාගත්හ.

සියලුම සම්මාන පොලිස්පති බිරිය ඔස්මන්ඩ් ද සිල්වා මහත්මිය විසින් පිළිගන්වනු ලැබ ඇත. පි‍්‍රයතම චිත්‍රපටය සඳහා වන සම්මානය ’කැලෑහද’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න ද පි‍්‍රයතම ගීතය සඳහා වන සම්මානය ‘මනරංජන දර්ශනීය ලංකා’ ගීතය ලියූ ආනන්ද සමරකෝන් ද ලබාගත්හ.

සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහිවුණු කීර්තිමත්ම චිත්‍රපට විචාරකයා ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන ජයවිලාල් විලේගොඩ බිහිකරන ලද්දේ ‘දිනමිණ’ පුවත්පත විසිනි. ජයවිලාල් සිනමා විචාරයට ප්‍රවිෂ්ට වූයේ 1953 දීය. (‘පුදුම ලේලි’ ඔහු ලියූ මුල්ම චිත්‍රපට විචාරයයි) එකල දිනමිණ පත්‍රයේ සිනමා කලා පිටුව සංස්කරණය කළේ ජයවිලාල් ය.

‘රඟමඩල’ යනුවෙන් එම කලා පිටුව නම් කර තිබිණි. (පසුව එය ‘සිනමා සංග්‍රහය’ යනුවෙන් වෙනස් වූයේ ය.) ‘ර¼මඩල’ සිනමා පිටුවෙන් ජයවිලාල් මෙරට සිනමා ලෝලයන්ගේ රසඥතාවය ඉහළට එසවීමට අසීමාන්විත උද්වේගයකින් යුක්තව ඉවහල් කරගත් ආකාරය ප්‍රශංසා කළ යුත්තකි.

ඒ හුදෙක් විචාරයෙන් පමණක් නොවේ. පාඨක ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම, ලෝකයේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපට හඳුන්වා දීමේ ලිපි පෙළ එතෙර තිරය නමින් ලොකයේ වෙනත් රටවල සිනමාව හඳුන්වා දිම, වාර්ෂික සිනමා සමාලෝචන යනාදි වශයෙන් වූ විවිධාකාර විශේෂාංග ඔස්සේ ඔහු මෙකී අරමුණ ඉෂ්ට ප්‍රාප්ත කර ගත්තේ ය.

ජයවිලාල් චිත්‍රපට විචාරයට එළැඹෙන අවදිය වනවිට සිංහල සිනමාවේ දක්නට ලැබුණේ විජාතිය මුහුණුවරකි. එය ගොරහැඩි දකුණු ඉන්දීය සිනමා දුර්ලක්ෂණවලින් ගහණ වූවක් විය. එබැවින් ජයවිලාල් මෙන්ම එකල ඔහුගේ සමකාලින විචාරකයන්ට ද තිබුණේ එක් මූලික අභිප්‍රේතාර්ථයකි.

එනම්; සිංහල සිනමාව මේ විජාතික යදමින් මුදවා ගැනීම යි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශීය සිනමාවක් ප්‍රතිෂ්ඨාපනය කිරීමය. විචාරකයකු වශයෙන් ජයවිලාල් ඉතාම නිර්දය වූවෙකි. එලෙස නිර්දය නොවී සිංහල සිනමාව මේ විජාතිය මඩ ගොහොරුවෙන් ගොඩගත නොහැකි බව ඔහුට පැහැදිලිව පසක් වන්නට ඇත.

අද ආපසු හැරී බලන විට අපට ජයවිලාල් ගේ ඉහළින්ම අගය කළ හැකි සාධනීය ලක්‍ෂණයක් වන්නේ ඔහු තම සිනමා විචාරය ඉතාම අදීන ලෙස පවත්වාගෙන යෑමයි. ඔහු කිසිදු බලවේගයකට යටත් වී පෑන මෙහෙය වූයේ නැත.

එකල චිත්‍රපටයක හොඳ නරක හඳුනා ගැනීමේ නිර්ණායකය බවට පත් වූයේ ජයවිලාල් ගේ විචාරයයි. ජයවිලාල් ගේ චිත්‍රපට විචාරය මාර්ටින් වික්‍රමසිංහයන් ගේ පවා නොමඳ ප්‍රශංසාව දිනා ගත්තකි. වික්‍රමසිංහයන් විසින් ජයවිලාල් ගේ විචාර හඳුන්වන ලද්දේ ‘හොඳ නිර්භය විවේචන’ යනුවෙනි.

විචාරකයකු වශයෙන් ජයවිලාල් ගේ විශේෂත්වයක් වූයේ ඔහු තිරගත වන සෑම සිංහල චිත්‍රපටයක් අරභයාම විවේචනයක් ලිවීමය. තෝරාගත් චිත්‍රපට පමණක් ගෙන විශේෂයෙන් වාණිජ ප්‍රවාහයේ චිත්‍රපට විචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමක් ඔහු වෙතින් සිදුවූයේ නැත.

ජයවිලාල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ සිනමා ලෝලියෙක් වූයේ ය. ඔහු විවිධ භාෂීය (ඉංගිරිසි, දෙමළ, හින්දි) චිත්‍රපට නැරඹුවේ ය. එම සිනමාපට අළලා ලියවුණ පතපොත - සඟරා කියෙව්වේ ය. එහෙයින් සිනමාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඔහුට තිබිණි.

සිංහල චිත්‍රපටයක් නරඹද්දි එහි කතාව කිනම් විදේශීය චිත්‍රපටයක අනුකරණයක් දැයි කීමට හෝ එම චිත්‍රපටයේ ගීත තවත් චිත්‍රපටයක ගී තනු අනුකරණයක් දැයි කීමට පුළුවන් මට්ටමේ දැනුම් සම්භාරයක් ඔහුට තිබිණි. ඔහුගෙන් කිසිවක් සඟවාලීම උගහට විය.

ජයවිලාල් ගේ් තියුණු විවේචනවල ඵල වශයෙන් ඇතැම් චිත්‍රපට ප්‍රදර්ශිත අදියරයේ දීම එහි යම් යම් දර්ශන කපා දැමූ අවස්ථා පිළිබඳ වාර්තා වී ඇත. ‘පික්පොකට්’, ‘පාරා වළලු’ ‘හතර පෙරළිය’ මෙසේ දර්ශන කපා දැමූ චිත්‍රපට කීපයකි.

ජයවිලාල් ගේ විචාර ජනපි‍්‍රය වන්නට එක ප්‍රධාන සාධකයක් වූයේ ඔහුගේ උපහාසාත්මක රචනා රීතියයි. ඔහුගේ ඇතැම් විවේචන කියවන කල්හි පාඨකයා ගේ් කට කොණකට සිහින් සිනාවක් නැෙඟනු වැළැක්විය නොහැකිය. මේ ඊට නිදසුනකි. හැට ගණන්වල ‘ලන්ඩන් හාමු’ නමින් සිංහල චිත්‍රපටයක් තිරගත වූයේ ය.

මෙයද ඉන්දීය චිත්‍රපට අනුකරණ ලක්‍ෂණ වලින් යුත් චිත්‍රපටයක් විය. චිත්‍රපටයේ කතාව හැටියට හාමු ලංකාවට එන්නේ ලන්ඩනයේ සිටය. මේ චිත්‍රපටය දකුණු ඉන්දීය හැඩරුවක් ගෙන ඇත්තේ හාමු ලන්ඩනයේ සිට ලංකාවට එද්දි ඉන්දියාවේ ටික දවසක් නැවැතී පැමිණීම නිසා යැයි ජයවිලාල් සෝපහාසයෙන් යුතුව ලීවේය.

ජයවිලාල් සංස්කරණය කළ ‘සිනමා පැන’ විචිත්‍රාංගය ද සිනමා ප්‍රේක්‍ෂක රසඥතාව දියුණු කිරීමට ගත් උත්සාහය අනල්පය. එහිදී ඔහු අනුගමනය කළේ සිනමා විචාරයෙහිලා ද අනුදුටු උපහාසාත්මක රචනා මඟයි.

වරක් එක් රසිකයෙක් ඔහුගෙන් මෙබඳු ප්‍රශ්නයක් ඇසුවේ ය. සින්දු හයයි හෝ අටයි, ආයා - අප්පු ජෝඩුවයි, සිහිනයයි හිඟන්නයි, පේරාදෙණිය මල්වත්ත හෝ රුවන්වැලි සෑයයි. සිංහල චිත්‍රපටයක් හදන්න තවත් අඩු මොනවද?

ඊට ජයවිලාල් පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

“පුන්නක්කු මිටියයි, තණකොළ බාල්දියයි විතරයි”

සුනිල් මිහිදුකුල

‘දිනමිණ’ පුවත්පතට අවුරුදු 75 පිරීම නිමිත්තෙන් 1984 පළ කළ අතිරේකයට ලිපියක් ලියූ ආචාර්ය තිස්ස අබේසේකර, ජයවිලාල් ගේ රඟමඩල පිටුවෙන් චිත්‍රපට ගැන නොදන්නා බොහෝ කරුණු තමන්ට දැනගත හැකි වූ බව කියා තිබුණා මට මතකය.

හැට – හැත්තෑව දෙදශකය සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්වෙයි. එකල සිංහල සිනමාව කලා මාධ්‍යයක් ලෙස උන්නතියට පත්වූයේ ගසක් අතු ඉතිලා වැඩෙමින් සුහුඹුල් මහ රුකක් බවට පත් වන්නාක් සේය.

ඊට හේතු කාරක වූ බලවේග අතර ‘දිනමිණ’ පුවත්පත ද ඉහළින්ම පවත්නා බව හිතාධ්‍යාශයෙන් යුතුව ප්‍රකාශ කළ හැකිය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්