දිනමිණ ට නව යුගයක් උදා කළ එච්. එස්.

දිනමිණ ට නව යුගයක් උදා කළ එච්. එස්.

ර්තමානයේ ප්‍රකාශයට පත් වන ආදි ම සිංහල දිනපතා පුවත්පත වන ‘දිනමිණ’ පත්‍රය ආරම්භ කිරීමෙහි ලා පමණක් නොව එහි ප්‍රථම කර්තෘවරයා වීමේ ගෞරවය ද දිනා ගනු ලබන එච්. එස්. පෙරේරා මහතා සිංහල ඉංග්‍රීසි භාෂා ද්වයෙන්ම ලේඛනයේ යෙදුණු කෘතහස්ත පත්‍ර කලාවේදියෙකි. ‘දිනමිණ’ පුවත්පත සියවස සමරන මේ අවස්ථාවේ දී එතුමා පිළිබඳව විමසා බැලීම කාලෝචිත ය.

වර්ෂ 1868 දී මහනුවර උපත ලැබූ මෙතුමා ක්‍රිස්තියානි ලබ්ධිකයකු වූ ජොහානස් පෙරේරා මහතාගේ පුත්‍රයෙකි. හේමේන්ද්‍ර සේපාල අභයකෝන් සහ බන්ධු ජයවීර සේනානායක යන පරම්පරාගත නාමය වෙනුවට හේමේන්ද්‍ර සේපාල පෙරේරා යන නම භාවිතයට ගත් මෙතුමා පාසල් යන සමයේදී සිට තම ආගම පිළිබඳව තැබූ විශ්වාසය හීන වූ බව සඳහන් කරයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව මහනුවර උසාවියේ ලිපිකරු තනතුරකට පත් වූ මෙතුමා සිංහල ඉංග්‍රීසි භාෂා දෙකම මනා ලෙස ප්‍රගුණ කර ලේඛනයේ යෙදුණේ ය.

පසු කාලයේ දී ක්‍රිස්තියානි ආගම අත් හැර බෞද්ධයකු බවට පත් වූ මෙතුමා වේරගම පුංචිබණ්ඩාරගේ කර්තෘත්වයෙන් පැවති ‘සරසවි සඳරැස’ පත්‍රයට ලිපි සපයමින් මහනුවර පරම විඥානාර්ථ සමාගමේ කටයුතු වලට සම්බන්ධ වී ක්‍රියා කළේය.

පසු කලෙක කොළඹ පරම විඥාානාර්ථ සමාගමට සම්බන්ධ වූ මෙතුමා 1893 අප්‍රේල් මාසයේ දී ‘සරසවි සඳරැස’ පත්‍රයේ කළමනාකාර ධුරයට පත් විය. එම පත්‍රයේ විශාල දියුණුවක් ඇති කිරීමට සමත් වීම නිසා 1903 දී එච්. එස්. පෙරේරා මහතා ‘සරසවි සඳරැස’ ප්‍රධාන කර්තෘ ධූරයට පත් කරනු ලැබීය.

එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වය යටතේ ‘සරසවි සඳරැස’ පත්‍රයේ ඉංග්‍රීසි කර්තෘ වාක්‍යයක් ද පළ කර ඇත. ඉංග්‍රීසි භාෂාවෙහි ද මනා දැනුමක් තිබූ මෙතුමා එකල ‘ඉන්ඩිපෙන්ඩන්ට්’ (Independent) පත්‍රය මගින් ප්‍රචාරය කෙරුණු ඇතැම් දුර්මත වලට එරෙහිව මෙම ඉංග්‍රීසි කර්තෘ වාක්‍ය පළ කර ඇත. බෞද්ධයන්ගේ පත්‍රයක් වූ ‘සරසවි සඳරැස’ ඉංග්‍රීසියෙන් හඳුන්වා දී තිබුණේ ‘The Sarasavi Sadaresa – organ of the Buddhists of Ceylon’ යනුවෙනි. ‘ශ්‍රී බුද්ධ වර්ෂ වාදයට’ හේතු වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ ලිපියක් ‘සඳරැස’ පත්‍රයේ පල වූයේ එච්. එස්. පෙරේරාගේ කර්තෘත්වය යටතේ ය.

පියදාස සිරිසේන මහතාගේ ‘වාසනාවන්ත විවාහය’ නවකතාව 1906 දී ;පාතක් වශයෙන් පල වීමට පෙර ‘සරසවි සඳරැස’ පත්‍රයේ 1904 දෙසැ. 27 දා සිට කොටස් වශයෙන් පළ වී ඇත.

පුවත්පත සාහිත්‍ය වර්ධනය සඳහා කැප කිරීම මගින් පත්‍ර කියවන්නන් තුළ කියැවීමේ රුචිය ඇති කිරීමට එච්. එස්. පෙරේරා මහතා ගත් ආරම්භක පියවරක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

ආචාර්ය සඳගෝමී කෝපරහේවා

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

සිංහල අංශය

කොළඹ විශ්ව විද්‍යාලය

වසර හයක පමණ කාලයක් ‘සරසවි සඳරැස’ පත්‍රයේ කර්තෘ ධුරය දැරූ එච්. එස්. පෙරේරා මහතා 1909 නොවැම්බර් 16 වන දින සිට එම ධුරයෙන් ඉවත් වීමට සිදු විය. ඊට හේතු වූයේ කොළඹ පරම විඥාානාර්ථ සමාගම සමග පෙරේරා මහතා ඇති කර ගත් අර්බුදයකි. ඒ අනුව එච්. එස්. පෙරේරා මහතා ‘සඳරැස’ කර්තෘ ධුරයෙන් අස් කිරීමට පරම විඥානාර්ථ සමාගම විසින් තීරණයක් ගන්නා ලදී.

ප්‍රවෘත්ති පත්‍රයකින් රටට සිදු වන ඉමහත් ප්‍රයෝජනය අවබෝධ කර ගෙන සිටි එච්. එස්. පෙරේරා මහතා ‘සඳරැස’ පත්‍රයේ කර්තෘ ධුරයෙන් ඉවත්වී මසක් ඇතුළත දිනපතා පුවත්පතක් ආරම්භ කිරීමට සමත් විය. ඩී. බී. ජයතිලක මහතාගේ ද උපකාර ඇති ව 1909 දෙසැම්බර් 17 වන දා ආරම්භ කරන ලද මෙම දිනපතා පුවත්පතට ‘දිනමිණ’ යන නම තබා ඇත්තේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමියන් විසිනි. ‘සඳරැසට’ විරුද්ධ ව නම් හොඳ ‘දිනමිණ’ බව ධර්මාරාම හිමියන්ගේ මතය වී ඇත. කොළඹ පළමු වැනි හරස්වීදියේ ලංකාභිනවවිශ්‍රැත යන්ත්‍රාලයේ මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලද ‘දිනමිණ’ පත්‍රයේ ආරම්භක කළමනාකාරවරයා වූයේ රොබට් බටුවන්තුඩාවේ මහතා ය.

අඟල් 19 1 / 2 ය 13 ප්‍රමාණයේ (වර්තමාන බ්‍රෝඩ්ෂීට් පුවත්පතකට වඩා තරමක් කුඩා ප්‍රමාණයකි) පිටු හතරක පත්‍රයක් වූ ‘දිනමිණ’ පත්‍රයේ මුල්ම කතුවැකියලියන ලද්දේ ඩී. බී. ජයතිලක මහතා විසිනි. ආරම්භක දිනපතා සිංහල පත්‍රය වූ ‘දිනපතා ප්‍රවෘත්ති’ මෙකල පළ නොවූ අතර සිංහල ජනතාවට දිනපතා ප්‍රවෘත්ති දැන ගැනීමට ‘දිනමිණ’ ආරම්භ කළ බව ආරම්භක කර්තෘ වාක්‍යය සඳහන් කරයි.

’සඳරැස’ කර්තෘ ධුරය දැරීමෙන් පත්‍ර කලාවේ අත්දැකීම් ලබා සිටි එච්. එස්. පෙරේරා මහතාගේ අරමුණ වූයේ අංග සම්පූර්ණ දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් පවත්වාගෙන යෑමට ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොතිබූ එකල දිනපතා සිංහල පත්‍රයක් කිසිදු සමාගමකට නොබැඳී ආරම්භ කොට පවත්වා ගෙන යෑම දුෂ්කර කාර්යයක් විය. එනමුදු එච්. එස්. පෙරේරා මහතා ඒ වන විට පත්‍ර කලා වෘත්තියෙහි ලබා තිබූ ප්‍රසිද්ධිය නිසා ආධාර උපකාර ලැබී ඇත.

පත්‍රයේ කළමනාකරු වූ රොබට් බටුවන්තුඩාවේ මහතාගේ ආධාර ද ආණ්ඩුවේ දෙපාර්තමේන්තු වල දැන්වීම් ද ලැබීම නිසා පුරා පස් අවුරුද්දක් මුළුල්ලේ එච්. එස්. පෙරේරා මහතා ‘දිනමිණ’ සාර්ථකව පවත්වාගෙන ගියේය.

එකල පළ වූ අනෙකුත් සිංහල පුවත්පත් මෙන්ම ‘දිනමිණ’ පත්‍රය ආරම්භයේදීත් පිටු සැකැස්ම හා සිරස්තල යෙදීම පිළිබඳව විවිධත්වයක් ගෙන නොමැත. සෑම ප්‍රවෘත්තියක්ම තනි තීරුවේ කුඩා සිරස්තලයක් යටතේ පළ කිරීම එකල සිංහල පුවත්පත් වල ලක්ෂණයක් විය. පළමු ලෝක යුද්ධ සමයේදී ප්‍රවෘත්තියේ වැදගත්කම අනුව ලොකු අකුරින් තීරු කීපයක ශිර්ෂපාඨ පළ වීම ඇරඹුණි.

එච්. එස්. පෙරේරාගේ කර්තෘත්වය යටතේ ‘දිනමිණ’ බෙහෙවින් මේ රටේ ප්‍රචාරයට පත් වූ දිනපතා පත්‍රයක් බවට පත් වූ බව පෙනේ. ‘දිනමිණ’ පත්‍රය ගැන එකල ‘සිංහල ජාතිය’ පත්‍රයේ පල වූ විවේචනයක ‘ප්‍රවෘත්ති පත්‍රයකට ඇති විය යුතු සියලු දෙයින් සම්පූර්ණ මේ දිනපතා පත්‍රය චිරස්ථායි කර ගැනීම සිංහල සියල්ලන්ගේ බලවත් යුතුකමක්’ බව දක්වා ඇත. (සිංහල ජාතිය – 1910 ජනවාරි 1) ගිහි – පැවිදි දෙපක්ෂයේම උගතුන් එකල ‘දිනමිණ’ පත්‍රයට ලිපි සපයා ඇත. ‘දිනමිණ’ පත්‍රය ආරම්භයට ද උපකාර කළ ඩී. බී. ජයතිලක මහතා ලන්ඩන් නුවර සිට ‘විදේශ ගමන් විස්තරයක්’ නමින් ලිපි පෙලක් ද ‘දිනමිණ’ ට සපයා ඇත. ජේ. සයිමන් ද සිල්වා දේවගැතිතුමා ලියූ ‘කාලීන ලිපිය’ ද ජනප්‍රිය විශේෂාංගයකි.

‘දිනමිණ’ පත්‍රය මෙලෙස පවත්වා ගෙන යන අතරතුරදී එච්. එස්. පෙරේරා මහතා ගිලන් විය. එසේ රෝගී ව සිටිමින් වුවද ඔහු පත්‍රයේ කටයුතු සිදු කළ බව සඳහන් වේ.

’ විදුලි පුවත් ආදිය ලියමින් පත්‍රයේ කටයුතු රෝගාතුරව සිට ගෙනම අනුනව සිද්ධ කරන ලද්දේය. දැනට ආරම්භ ව තිබෙන මහා යුද්ධයෙන් පසු ‘යුරෝපයේ ලේ වැගිරීම’ යන මාතෘකාවෙන් අංක පිළිවෙළින් පසුගිය මාසයේ මැද වනතුරුම ලියන ලද වාක්‍ය පන්තිය උන්නැහේගේ සියතින් ගිලන් ඇෙඳහි සිට ලියා එවන ලදී’ (දිනමිණ – 1914 දෙසැම්බර් 19)

මෙලෙස එච්. එස්. පෙරේරා මහතාගේ අසනීප තත්ත්වය නිසා ‘දිනමිණ’ පත්‍රය පවත්වාගෙන යාමට මූල්‍යමය වශයෙන්ද සංවිධානයෙන්ද නොයෙකුත් දුෂ්කරතා ඇති විය.

ඒ වන විට රටෙහි ප්‍රචලිතව තුබූ ‘දිනමිණ’ වැනි පත්‍රයක් තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව හඳුනාගත් ඩී. බී. ජයතිලක මහතා එම පත්‍රය මිල දී ගන්නා ලෙස ඩී. ආර්. විජයවර්ධන මහතාට දැන්වීය. ඒ අනුව විජයවර්ධන මහතා සිය සොහොවුරු ඩී. සී. විජයවර්ධන මහතා ද කොටස්කාරයෙකු ලෙස සහභාගී කරවා ගෙන ‘දිනමිණ’ පත්‍රයේ අයිතිය එච්. එස්. පෙරේරා මහතාගෙන් සහ රොබට් බටුවන්තුඩාවේ මහතාගෙන් ලබා ගත්තේය.

එච්. එස්. පෙරේරා මහතා කලක් ගිලන්ව සිට 1914 දෙසැම්බර් 10 වනදා මිය ගිය නමුත් ඊට දින හතරකට පසුව ‘දිනමිණ’ පත්‍රය ඩී. ආර්. විජයවර්ධන මහතාගේ පාලනය යටතේ් නව මුහුණුවරකින් ජනතාව අතට පත් විය. සිංහල පුවත්පත් කලාවේ නව යුගයක් ‘දිනමිණ’ නව පාලනය යටතේ් සිදු වූ අතර එම පත්‍රය ආරම්භ කිරීමට මුල් වීම නිසා එච්. එස්. පෙරේරා මහතාට සිංහල පත්‍ර කලාවේ ගෞරවණීය ස්ථානයක් හිමි වෙයි.

ස්තුතිය

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්