සතහට සෙත සෑදූ දිනමිණ

සතහට සෙත සෑදූ දිනමිණ

වසර සීයක් ජීවත් වීමට ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය. බොහෝ දෙනෙක් ඊට අඩු වයසින් ජීවිතය හැර යති. ක්‍රිකට් ක්‍රීඩාවේ ශතකයක් ගැසීම ද අසීරු කාර්යයකි. බොහෝ ක්‍රීඩකයන් ඊට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකින් දැවී යයි.

පුවත්පතක් වසර සියයක් සපුරාලීම මේ හැම සිද්ධියටම වඩා විරල සිද්ධියකි. අපේ රටේ වසර සීයක් අඛණ්ඩව පැවැති එකම සිංහල පුවත්පත ‘දිනමිණ’ පුවත්පතයි. ශතවර්ෂයක් සම්පූර්ණ කරන පුවත්පතක සේවය කිරීමට ලැබීම අප ලැබූ විශාල භාග්‍යයකි.

මෙරට පුවත්පත් කලා ඉතිහාසයේ මෙන්ම සමාජ දේශපාලන ඉතිහාසයේ සිද්ධි සමුදායකට සම්බන්ධ වූ ලේක් හවුස් ආයතනය මගින් අඛණ්ඩව වසර සියයක් “දිනමිණ” දිනපතා සිංහල පුවත්පත පවත්වාගෙන එයි. දෙසැම්බර් 17 වන දිනට “දිනමිණ” වසර සියය සපුරයි.

“දිනමිණ” සියවැනි උපන්දිනය සමරණ මේ අවස්ථාවේදී එහි ආරම්භය පිළිබඳ මෙන්ම “දිනමිණ” මඟින් ඉටුකළ සමාජ වගකීම් සිහිපත් කිරීම වැදගත්ය.

“දිනමිණ” මුලින්ම ප්‍රකාශයට පත් වූයේ 1909 දෙසැම්බර් මස 17 වැනි දින එච්. එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙනි.

ජාතික නිදහස වෙත යොමු වූ ජාතික පුනර්ජීවන ව්‍යාපාරයෙහි ආභාසය ලද “සරසවි සඳරැස” පුවත්පතේ සේවය කළ ඔහු එම අරමුණු තවත් පුළුල් ව ගෙන යෑමේ අරමුණින් “දිනමිණ” අරඹා තිබේ.

“දිනමිණ” ට නම තබා ඇත්තේ විද්‍යාලංකාර මහා පිරිවෙනේ අධිපතිව සිටි රත්මලානේ ධර්මාරාම හිමියන් විසිනි. ඩිමයි භාගයේ ප්‍රමාණයේ මුල් දිනමිණෙහි මිල වූයේ සත තුනකි.

1914 වසර මැද භාගයේ දී දිනමිණ කර්තෘ එච්.එස්. පෙරේරා මහතා දැඩි ලෙස රෝගී වූ නිසා “දිනමිණ” පවත්වාගෙන යෑමට බාධා ඇති වී තිබේ.

ඩී.ආර්. විජයවර්ධන මහතා විසින් “දිනමිණ” මිලට ගෙන ඇත්තේ මේ අවදියේදීය. ජාතික නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වූ සර් ඩී.බී. ජයතිලක දිනමිණ මිලදී ගැනීමට ඔහු පොළඹවා තිබේ.

1919 දෙසැම්බර් 17 වැනි දින කොළඹ කොටුවේ ගොඩනැගිල්ලක දිනමිණ යළි මුද්‍රණය කිරීම ඇරඹිණි.

ජාතික නිදහස් සටනට දිනමිණ ලබාදී ඇති සහයෝගය සුළුපටු නොවේ. ජාතික නිදහස් සටනට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ සරසවි සඳරැස, ලක්මිණි පහණ, ලංකාලෝකය වැනි පුවත්පත් ගොන්නට දිනමිණ පුවත්පත ද පසු කාලයේ දී එක්විය.

ජාතික නිදහස් සටනට ලබා දුන් මේ සහයෝගය පුවත්පත් කලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත.

එදා මෙදා තුර මේ අද්විතීය පුවත්පතෙන් මෙරට සමාජයට සිදු වූ සේවය අපමණය. මේ අතිවිශාල සේවාව පිළිබඳ මෙවැනි කෙටි ලිපියකින් ලියා විස්තර කළ නොහැකිය.

ඉතිහාසය පුරාවටම මෙරට අද්ගත වූ හැම සමාජ ප්‍රශ්නයකදීම ජනතාව දැනුවත් කිරීම සඳහා පෙරමුණ ගත්තේ දිනමිණ යි.

මුල් කාලයේ දී මෙරට පැවැතියේ සීමිත පුවත්පත් ප්‍රමාණයක් නිසා එම සමාජ වගකීම නිතැතින්ම දිනමිණට පැවරිණි.

මෙරට මහජන මතයක් නිර්මාණය කිරීමට ද දිනමිණෙන් ලැබුණේ ඉහළ දායකත්වයකි.

ජන සන්නිවේදන මාධ්‍යයන්හි පොදු මූලික අරමුණු වනුයේද ජනතාවට තොරතුරු ලබා දීම, අධ්‍යාපන කටයුතු සඳහා මඟ පෙන්වීම, විනීත විනෝදාස්වාදය ලබා දීම සහ මහජන මතයක් නිර්මාණය කිරීමයි.

පුවත්පත් මාධ්‍යයට ද එය පොදු වූවකි. සියලු ජන කණ්ඩායම්වලට අවබෝධ කර ගත හැකි ආකාරයට මාධ්‍යය මෙහෙයවීමද ඒවාට සම්බන්ධ අයගේ වගකීමකි.

“දිනමිණ” පුවත්පත එදා සිට අද දක්වා ජනමාධ්‍ය සතු ජාතික වගකීම නිසි අයුරින් තේරුම් ගෙන කටයුතු කරයි.

පසුගිය සියවසක කාලය තුළ විවිධ කරදර බාධක කම්කටොලු මැද අපේ පුවත්පතට අඛණ්ඩව රැඳී සිටීමට ඉවහල් වී ඇත්තේ ද මෙලෙස සමාජ වගකීම නිසි අයුරින් තේරුම් ගෙන කටයුතු කිරීම විය යුතුය.

දුමින්ද ගුරුගේ

දිනමිණ පවුත්පතේ එදා සිට අද දක්වා දහස් ගණනක් දෙනා සේවය කරන්නට ඇත. ප්‍රධාන කර්තෘවරුන්ගේ සිට සුළු සේවකයන් දක්වා වූ සිටි සියලු දෙනා “දිනමිණ” නඟා සිටුවීමට වෙහෙසුණාහ.

විශිෂ්ට ගණයේ ලේඛකයන් කවීන්, විචාරකයන් දස දහස් ගණනක් දිනමිණෙන් බිහි වී තිබේ. දිනමිණ සියවැනි උපන් දිනය සමරණ මේ අවස්ථාවේදී මේ සියලු දෙනාම සිහිපත් කිරීම අද දිනමිණේ සේවය කරන අප සැමගේ යුතුකමකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්