උදාකළ බෞද්ධ ප්‍රබෝධය

උදාකළ බෞද්ධ ප්‍රබෝධය

මිනිසාගේ පරමායුෂ වසර 120කි. යමකු පරම ආයුෂම විඳින්නේ ඉතාමත් කලාතුරකිනි. වසර 120 ඉක්මවා ගැන ඉක්මවා ගිය අය ගැන ද මම අසා ඇත්තෙමි. මේ ළගදි ඉන්දියාවේ හිමාල අඩිවියේ මුණිවරයෙකු වසර 140ක් දිවි ගෙවා මිය ගිය පුවතක් දුටුවෙමි. ඒ අනුව දිනමිණ පුවත්පත ද වසර 140ක් නොව ලොව පවතිනා තාක්කල් බැබළෙන බව නම් සමාජ සත්‍යයකි.

කොළඹ දිසාවේ සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත අරම ධම්මතිලක නාහිමි

දිනමිණ පුවත්පතට වසර සියයක් එළඹීම අතිශය ආනන්දයට ආහ්ලාදයට හේතු භූ®ත වන්නකි. එයට නම් තැබූ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ අධිපතිව සිටි මහා පඬිරුවනක් වූ රත්මලානේ ධර්මාරාම නාහිමියන් නිසාම දිනමිණ බෞද්ධ ප්‍රබෝධයට මං පෙත් විවර කළේය. පන්සල ආශ්‍රිතව එම නම පටබැඳුණු හෙයින් ධර්ම ප්‍රබෝධය වඩාත් උත්ප්‍රේරණීය විය. සුවිසාධනීය විය. දිනමිණත්, බෞද්ධ ප්‍රබෝධයත් අතර පවත්නේ අනවරත බැඳීමෙකි. ගසට පොත්ත මෙන් යම් තැනක ධර්ම ශාස්ත්‍රිය ප්‍රබෝධයත් ඇති වූයේ ද එතැන දිනමිණ අනිවාර්යයෙන්ම මුල් විය. ධර්ම ප්‍රබෝධයට දිනමිණ නැතිවම බැරිවිය.

දිනමිණේ පැවැත්ම උදෙසා ඩී.ආර් විජේවර්ධන මැතිතුමා මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා නිරතුරුවම ලැබුවේය. ගුරු අරුත සඟ අරුත විය.ධර්මයෙන් තොර සමාජයක් නොමැත. මිනිසා කෙරෙහි ශික්ෂණයක් ඇති කරන්නේ ධර්මයයි. යම් යම් සමාජ අර්බුදවලදී දිනමිණ එම අර්බුද විසැඳීමට පෙරමුණ ගත්තේය. දිනමිණ සියක් වසරක් දිගු ගමනක යෙදුණේත් ධර්මය විෂයකොට ගත් හෙයිනි.

ධර්ම ශාස්ත්‍රිය ලිපි

එදා දිනමිණ ධර්ම ලිපි සම්භාරයකින් උපයුක්ත විය. විශේෂයෙන් පොහෝදාට ධර්ම ලිපි වලින් පිරී ගිය අතිරේකයක් විය. ඒ හේතුව නිසාම පොහෝ දා දිනමිණ රැගෙන උපාසක උපාසිකාවන් පන්සලට පිය නැගූ® අන්දම දුටුවෙමි. එම ධර්ම ශාස්ත්‍රිය ලිපි පිං - පව්, කුසල් - අකුසල්, එමෙන්ම චතුරාර්ය සත්‍යය ධර්මය හා ජීවිතයේ යථාර්තය හෙළි කරන ලිපි මුල පටන් අවසානය දක්වා කියවා කිසියම් චිත්ත සුවයක් ලැබූ ආකාරය ද මම සියැසින්ම දුටුවෙමි.

විජයවර්ධන මැතිතුමා වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සුවිශේෂත්වයක් කළ යුතුය යන අරමුණේ සිටියේය. දොළොස් මහේ පොහොයවලට වඩා වෙසක් පුන් පොහොය සුවිශේෂිතය. බුදුන්ගේ උපත, බුදුවීම හා පිරිනිවීම යන ත්‍රිකය සිදුවූ වෙසක් පුන් පොහොයට විශේෂත්වයක් කළ යුතුය යන නියතයේ සිටියේය. ඒ නියතය පදනම් කරගෙන 1933 දී “දිනමිණ වෙසක් කලාපය” බිහි කෙළේය. මේ වන විට දිනමිණ පුවත්පතට සමගාමීව දිනමිණ වෙසක් කලාපය ද අද වන තෙක් අඛණ්ඩවම පැවැතීම සුවිශේෂිත සිද්ධියකි.

අර්ථදායී ධර්මදායී පුරාවිද්‍යාත්මක හා බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය ආදි විෂයයන්ගෙන් උපයුක්ත වූ වෙසක් කලාපය පෙරට වඩා ගාම්භීර තලයකට පසුගිය දශකයක පමණ කාලයේ දී එහි සංස්කාරකවරයා ගෙන ඒමත් අගය කළ යුතුය. විවිධ සමාජ මට්ටම්වලට සරිලන අන්දමින් සම්පාදනය කළ නිසාම කාගේත් ප්‍රසාදයට පාත්‍ර විය. විද්‍යාර්ථින්ට මෙන්ම උපාසක - උපාසිකාවන්ට ද එය මහඟු ග්‍රන්ථයක් විය.

දිනමිණ නිතරම බෞද්ධ සම්ප්‍රදාය සිංහල ලකුණ ප්‍රස්තුත කොට ගත්තේය. දිනමිණ සංකේතාර්ථයට සරිලන ආකාරයෙන් සඳකඩ පහණ, මුරගල, කොරවක්ගල භාවිතයට ගත්තේය. ධර්ම චක්‍රය නිරතුරුවම සංකේතවත් විය.

දිනමිණේ පැවත්ම රඳා පවතින්නේ ධර්ම චක්‍රය මත වසර එක්සියයක් පුරා පැමිණි ගමන් මගට ඉවහල් වූයේ ද එයයි. දිනමිණට පිවිසෙන කාට වුණද දිස්වන්නේ ධර්ම චක්‍රයයි. ධර්මයෙන් ජීවිතය ප්‍රභාවිත වේ. ඒ යථාර්ථය දිනමිණ උකහා ගත්තේය. ධර්මයෙන් තොර දිවියක් නොමැත. ධර්මාශ්‍රිත මූලයන් සොයා යන්නට දිනමිණ නිතරම පෙරමුණ ගත්තේය.

නෙළුම දිනමිණේ ස්වභාවික සංකේතයයි. නෙළුම නැත්නම් අරවින්දය සමාන කරන්නේ බුදුරදුන්ටය. නෙළුම මඩෙහි හටගත්ත ද මඩ හා නොගැටී එයින් ඉස්මතු වී සිටී. මේ පුෂ්පයාර්ථය දිනමිණ ඈඳා ගන්නා ලදී. පොළොන්නරු කලා සම්ප්‍රදායට දිනමිණ ඇදගෙන ගියේය. පොළොන්නරුවේ ගල් විහාරයේ පිළිමයේ අන්තර්ගත සියුම් නෙළුම් පෙති දිනමිණට ගෙනාවේය. දිනමිණට පිවිසෙන පියගැට පෙළ සංකේතවත් කොට ඇත්තේ මේ සියුම් වූ නෙළුම් පෙති වලිනි. දිනමිණ කිසිදා නොනැසී, නොබිඳී, නොකැඩී පවත්නේ ඒ හේතුව නිසාය. දිනමිණේ අසිරිය ද එයයි.

එමෙන්ම පොළොන්නරුවේ තිවංක පිළිම ගෙයට පිවිසෙන දිනමිණ තිවංක පිළිමගේ කවුළු සම්ප්‍රදාය උකහා ගත්තේය. පිටතට නොපෙනෙන කවුළුව දිනමිණටත් ගෙන ගියේය. මෙන්න අසිරියක ප්‍රහර්ෂවත් භාවය රමණීය, කමණීය, සුවිසාධනීය, ප්‍රමාණීයත්වය දිනමිණේ රෝක්ත වී ඇත. සියක් වසක බෞද්ධ ප්‍රබෝධයේ ප්‍රතිඵලයෝය.

එදා විජයවර්ධන යුගයේ සුවිශේෂි පන්සල්වලට දිනමිණ නොමිලේ සැපයීමේ පිළිවෙතක් තිබුණි. ප්‍රතිලාභ සඳහා නොව යුගකාරක අවශ්‍යතාවන් උදෙසාය. මේ හේතුව නිසාම මහ සඟරුවනේ ආශිර්වාදය දිනමිණට නිරන්තරයෙන්ම ලැබිණි.

කතු වැකි

බෞද්ධ විරෝධි හඬක් මතුවූයේ යම් තැනක ද ඒ තත්ත්වය සමනය කරන්නට දිනමිණ එඩිතර විය. මේ සම්බන්ධයෙන් අර්බුධයක් ඇති නොවන්නට සමාජ ප්‍රශ්න සමනය කරන්නට දිනමිණ අපමණ වෙහෙසක් ගත්තේය. විවිධ විෂය යටතේ උගතුන් හා වියතුන් සම්බන්ධ කොටගෙන ලිපි පළ විය. කතු වැකි ලියවුණි. මහායාන වාදයක් බිහි වූයේ ථෙරවාදයේ යම් යම් කොටස් සරල කරගැනීමේ අරමුණිනි. ඒ හේතුව නිසාම ධර්මයේ විවිධ මත භේද ඇති විය. ධර්මය එකය. එහෙත් නාගාර්ජුන පාදයන්ගේ මහායාන වාදය නිසා අන්තරාභව ප්‍රශ්නයක් එදා යතිවරුන් අතර මහත් ආන්දෝලනයක් ඇතිවිය.

සත්වයෙකුගේ මිය යාමෙන් පසු අන්තරා භවයක් තිබේ ද? යනුවෙන් මතවාදයක් ඇති විය. එදා දිනමිණේ මේ විෂය මුල්කොට ගෙන මහා වාදයක් ඇති විය. ගිහි - පැවිදි උගතුන් අතර මේ පිළිබඳව මතවාදයක් ඇති විය. දිනමිණ බෞද්ධ ප්‍රබෝධය උදෙසා සිදුකළ තවත් මෙහෙවරකි.

වාද විවාද

හේන්පිටගෙදර ඤාණසීහ නාහිමි, කන්නිමහර සුමංගල නාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි ඇතුළු මහ පඬිවරුන් මේ වාදයෙහි පැටලී අන්තරාභව වාදය ඇදගෙන යාම මත දිනමිණ ජනතාවට වඩාත් සමීප විය. මේ වාදය පැවැති දිනවල දිනමිණේ ලිපි කියවා ඊළඟ දින මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක් ද යන්න අරබයා අප කෙරෙහි ඉමහත් කුතුහලයක් කුහුලක් ඇති විය. එම කුහුල නිරාකරණය කර ගන්නට දිනමිණ මුල් විය. ධර්ම ශාස්ත්‍රිය වාද විවාද නිසාම දිනමිණ සමාජයේ කා අතරත් කතා බහට බඳුන් විය. සමාජයේ සිදුවන්නේ කුමක් ද ? සිදුවිය යුත්තේ කවරක් ද ? අළලා දිනමිණට හොඳ ඉවක් තිබුණි.

බණ පිටුව

පොහෝදාට පළවන බණ පිටුව බෞද්ධ ප්‍රබෝධයට මහත් රුකුලකි. ධම්ම පදයේ අන්තර්ගත පාඨ පදනම් කොට ගෙන ධර්මය උගත් බහුශ්‍රැත යතිවරුන් ලවා විමර්ශනය කිරීම යහපත් පිළිවෙතකි. ධර්මශාස්ත්‍රිය පිටුවක් එදා දිනමිණෙහි තිබුණි.

විවිධ විෂයයන් යටතේ ධර්මය සාකච්ඡා කොට සමාජය දැනුවත් කැරිණි. අප නොදන්නා කරුණු බොහෝමයක් දැන ගන්නට ලැබුණු අතර කුතුහලයට පාත්‍ර වූ යම් යම් කරුණු නිරාකරණය කරගැනීමට ද අපට දිනමිණ බලපෑවේය.

ධර්මය කවියෙන් ද පබැඳුණි. ගද්‍ය රසයට වඩා පද්‍ය රසය මතුවන අයුරින් ධර්මය ලියා තබන්නට දිනමිණ පෙරමුණ ගත්තේය.

කවිය යනු ආනන්දයෙන් අරඹා ප්‍රඥාවෙන් සමාප්ත වන්නකි. කවියේ ආත්මය ප්‍රඥාවයි. අපට කවියෙන් බණ අසන්නට ද දිනමිණ මග පෑදුවේය.

සංකේතාර්ථ, භාවාර්ථ, නෙයියාර්ථ, විෂයාර්ථ, ශ්ලේෂාර්ථ ආදියෙන් උපයුක්ත වූ දහම් කවි පබඳා පාඨකයා කෙරෙහි රස වින්දනයක් සමගම ධර්මානුගතදිවි පෙවෙතකට යොමු කළ ආකාරය දිනමිණ පැමිණි එක් සියවසක ගමන් මගෙන් මැනැවින් සනාථ වේ.

ධර්මකාමි සමාජයක් බිහි කිරීමට පුවත්පතෙන් ඉටුවන මෙහෙවර සුළු පටු නොවේ. එහෙත් බොහෝ පුවත්පත් ඒ කාර්්‍යය ඉටු කිරීමට උත්සුක වන්නේ නැත.

මේ යථාර්ථය සෙසු පුවත්පත්වලට වඩා දිනමිණ තේරුම් ගැනීම සමාජයේ භාග්‍යයකි.

එක් අතකින් දිනමිණ පහළ වූ මුල් සමයේ දිනපතා පුවත් පත් නොවීය. අද මෙන් දිනපතා පුවත්පත් බහුල සමයක එදා දිනමිණ සිදුකළ මෙහෙවර වත්මන් අවධියේ සිදුකරන මෙහෙය සෙසු පුවත්පත් අතින් සිදුවන්නේ නැත. ඒ නිසාම “දිනමිණ” පුවත්පත් අතර අග රැජිණ ද වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්