‘දිනමිණ’පුවත්පත සරසවියකි

‘දිනමිණ’ පුවත්පත සරසවියකි

‘දිනමිණ’ සියවෙනි වසර ළඟා වෙද්දී එය අඛණ්ඩව මෙපමණ කළක් පවත්වාගෙන යාමට ඉතා වැදගත් කාරණයක් බව පළමුවෙන් සඳහන් කළ යුතුය.

මහාචාර්ය
ගාමිණී සමරනායක
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති

 එමෙන්ම එය තවමත් විශාල පාඨක පිරිසක් සතු පුවත්පතකි. එහි ව්‍යාප්තියද විශාලය. ‘දිනමිණ’ සහෝදර ඉංග්‍රීසි පුවත්පත වන Daily News පුවත්පත ද පාඨකයා අතර විශාල පිළිගැනීමක් ඇති පුවත්පතකි.

මා ‘දිනමිණ’ පාඨකයකු වුයේ අවුරුදු 9 ක තරම් කුඩා අවධියේ බව මෙහි දී සතුටින් සිහිපත් කළ යුතුය. එම අවධියේ කිලිනොච්චියේ ව්‍ය්‍යාපාරවල නියැලී සිටි මගේ මාමා ඔහුගේ බාල නැගණියට ‘දිනමිණ’ පුවත්පත තැපැල් මඟින් ලැබෙන්නට සැළැස්වීය.

ඊයේ ‘දිනමිණ’, අද අනුරාධපුරයට ලැබිණි. එසේ ලැබෙන පුවත්පත කියැවුයේ මාය. පාසල් ගොස් පැමිණි පසු දිවා ආහාරය ගැනීමටත් පෙර පුවත්පත කියැවීමේ පුරුද්දක් අපට විය.

කුඩා කල පටන්ම පුවත්පතේ මා ආසාවෙන්ම කියූ පිටුව හැන්සාඩ් පිටුවයි. (පාර්ලිමේන්තුව) එම සමහර තොරතුරු අදටත් මතකය. කිනම් දේශපාලන පක්ෂයක වුව පාර්ලිමේන්තුව නියෝජනය කෙළේ පතාක යෝධයන්ය.

ඉතා හරබර කතා මෙන්ම පාර්ලිමේන්තු විවාද එවක දැක ගත හැකිවිණි. මේ සියල්ල හැන්සාඩ් පිටුව මඟින් අප වෙත ළඟා විණි. පසු කලෙක දේශපාලන විද්‍යාව විෂයය වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා එක්තරා අන්දමකට මා දිරිමත් කිරීමක් ද ‘දිනමිණ’ හැන්සාඩ් පිටුව මඟින් සිදු වූ බව කිව හැකිවේ.

‘දිනමිණ’ පුවත්පත සරසවියක් ලෙස ද හැඳින්වීමට හැකි පුවත්පතකි. ඒ හරහා ගත වූ වසර 100 ක කාලය තුළ මාධ්‍ය ක්ෂේත්‍රයට දැවැන්තයින් දායාද කර තිබේ. ඉන් ඇතැම් අය අද වෙනත් පුවත්පත්වල කටයුතු කරනවා විය හැකි වුවද ඔවුන්ගේ ආරම්භය ‘දිනමිණ’ යි. මාධ්‍යවේදීන් රාශියක් ‘දිනමිණෙන්’ පන්නරය ලබා ඇත. මේ අනුව පෙනෙන්නේ එය පුවත්පත් තක්සලාවක් සරසවියක් ලෙස හැඳින්වීම නිවැරැදි බවයි.

‘දිනමිණ’ ‘Daily News’ වැනි පුවත්පත් රට තුළ දේශපාලන ස්ථාවරත්වය උදෙසා නොසැළී පෙනී සිටිම තවත් වැදගත් කාරණයකි. ආණ්ඩුව කුමක් ද කියන කාරණයට වඩා රටේ දේශපාලන ස්ථාවරත්වය ‘දිනමිණ’ මුල්කොට තැකිය.

ඒ සමඟම ‘දිනමිණ’ ජාතිවාදී ස්ථාවරයක් ගත්තේ ද නැත. තම පුවත්පත යම් ජන කොට්ඨාසයක් අතර ව්‍යාප්ත කිරීමේ අරමුණින් එය කිිසිසේත් ජාතිවාදී ස්වරූපයකින් ක්‍රියාත්මක වී නොතිබීම වැදගත් කාරණයකි.

ගුණාත්මක මට්ටමකින් යුතුව කාලීන සංවාද පවත්වා ගෙන යමින් අවධානයට ලක්විය යුතු කාරණා පිළිබඳ හරයාත්මක සාකච්ඡාවක් ඇති වීම සඳහා ‘දිනමිණ’ දායක වී තිබීමද තවත් විශේෂ කාරණයකි. එය නොයෙකුත් ක්ෂේත්‍ර කරා යොමුවෙමින් සිය කාර්යභාරය සපුරාලීමට දරන ලද ප්‍රයත්නය දැකිය හැකිය.

එක්තරා අන්දමක ස්වාධිනතාවක් පවත්වගනිමින් සමබර මට්ටමකින් ක්‍රියා කරන්නටද පුවත්පතට හැකි වී තිබේ’ පුවත්පත තුළ ඇති එම ගුණාංගය අද දක්වාම එය පවත්වාගෙන යාමට හැකි වීම කෙරෙහි ද බලපා ඇත.

ගත වූ වසර 100ක කාලය තුළ නොයෙකුත් හැල හැප්පීම් වලට මුහුණ පාන්නට ඇතත් , මෙපරිදි සෑම ක්ෂේත්‍රයටම සරිලන සේවාවක් සිදු කරමින් විශාල පාඨක පිරිසකගේ අවධානයට ලක්වීමටත් ‘දිනමිණ’ට හැකි වී තිබේ. සමහර විට දේශපාලන වශයෙන් එය ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබිය හැකි නමුත් ඒ සියල්ලට නොබියව මුහුණ දීමේ හැකියාවද ඊට තිබිණි.

අප වැනි කුඩා රටක පුවත්පතක් සම්බන්ධයෙන් මෙය මැදහත් අවස්ථාවක්ද වේ. බ්‍රිතාන්‍ය වැනි රටක පුවත්පතකට වසර 100ක් සපිරීම එතරම් මවිත විය යුතු කාරණයක් නොවුණත් අප වැනි රටක එය දුලබ සිදුවීමකි. එය වඩාත් අගය කළ හැකි වන්නේ පුවත්පතේ ගුණාත්මක භාවය මෙන්ම පාඨක රුචිය ද පවත්වා ගනිමින් එය ඉදිරියට ගොස් ඇති බැවිනි.

එදා කුඩා ළමයකු ලෙස මා ‘දිනමිණ’ට දැක් වූ කැමැත්ත අදටත් ‘දිනමිණට’ ත් දක්වන බව සඳහන් කළ යුතුයි. රටේ බුද්ධිමත් වැඩි දෙනාගේ අවධානය දිනමිණ  Daily News  වැනි පුවත් පත් වලට යොමුව ඇති බවද පැහැදිළිය.

පසුගිය ශත වර්ෂයක කාලය තුළ පුවත්පත විසින් ලබා ගෙන ඇති අත්දැකීම් සම්භාරය සැළකීමේ දි ‘දිනමිණ’ මෙරට පුවත්පත් අතර පතාක යෝධයෙකි. පෙර දැක් වූ අතීත සම්ප්‍රදාය ඔස්සේ ‘දිනමිණ’ ට ශක්තිමත් පදනමක් ද තිබේ.

එබැවින් ඉදිරියේ දී ඇති වන ඕනෑම අභියෝගයකට මුහුණදීමේ හැකියාවද ඊට ඇත. වර්තමානයේ මාධ්‍ය යනු බෙහෙවින් සංවිධානාත්මක මෙන්ම විධිමත් ලෙස අධ්‍යයනය කරන ක්ෂේත්‍රයකි.

එසේ අධ්‍යයනය කරන තරුණ පරපුරට තවදුරටත් දැනුම හා අවබෝධය ලබා දෙමින් පුවත්පත තවත් නවීකරණය කළ හැකි බවද පෙන්වා දිය යුතුය. එමගින් ඉදිරියේ දී වඩා ජනප්‍රිය ලෙස මෙන්ම ශක්තිමත්ව තම සේවාව ඉටු කිරීමට ‘දිනමිණ’ ට හැකි වනවා ඇත.

අද මාධ්‍ය ක්ෂේත්‍රය විශාල වශයෙන් දියුණු වී ඇත. අපේ රටේ නැතත් බටහිර රටවල මාධ්‍ය පිළිබඳ විශ්වවිද්‍යාල විෂයයක් ලෙස ගැඹුරින් හැදැරීම් සිදුවේ.

මාධ්‍ය පිළිබඳ උගන්වන ස්ථාන ද සුලබය. එසේ ගොඩනැඟෙන දැනුම ඔස්සේ පුවත්පතක් නවීකරණය කළ හැකිය. නව දැනුම සොයා යමින් පුවත්පතේ නවීනත්වය පිළිබඳ අවධානය යොමු කිරීමට ද දිනමිණට හැකියි.

අනාගතයේ දී මුහුණ දීමට ඇති අභියෝගයන්ට නොබියව හා සාර්ථක ලෙස මුහුණ දීමට හැකි මාධ්‍යකරුවන් බිහිකිරීමෙහි දී ද එය වැදගත් වනු ඇත. මේ හැම කාරණයක් සම්බන්ධයෙන්ම සාර්ථක වීමට හැකි විභවයක් දිනමිණට තිබෙන බව සඳහන් කරන්නේ එහි ඉදිරි ගමන පිළිබඳ සුබවාදී කල්පනා ඇතිවය.


සබැඳි පුවත්