සංස්කාරකගෙන්...

සංස්කාරකගෙන්...

මෙය සැබැවින්ම විශ්මය දනවන සිද්ධියකි. වසර සියයක් යනු දිගු කලකි. ඒ දිගු කාලය තුළ පුවත්පතක් විශේෂයෙන්ම දිනපතා පුවත්පතක් පවත්වාගෙන යෑම සුළු පටු කටයුත්තක් නොවේ. ඒ විශ්මය දනවන තැනට අද ‘දිනමිණ’ පා තබා ඇත.

‘දිනමිණ’ අප ආදරණීය පුවත්පතට වසර සියය සපිරෙන ඒ ස්වර්ණමය අවස්ථාව සමරන්නට අපට හැකිවීමද සුවිශේෂී කටයුත්තකි. ඒ තරමට අපි වාසනාවන්තයෝ වෙමු.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පැරැණිම පුවත්පත වන ‘දිනමිණ’ වසර සියයක් සමරන මේ සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් නිකුත් කරන විශේෂ අතිරේකය සැකැසීමට සභාපති ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පත්මකුමාර මහතා සහ ‘දිනමිණ’ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර මහතා මා හට පැවැරීමද ජීවිතයේ මා ලත් සුවිශේෂ වරප්‍රසාදයක් සේ මම සලකමි.

‘දිනමිණ’ මහා මේරුවක් සේ නොසැලෙමින් වසර සියයක් පැමිණි මේ ගමන මුළු මහත් පුවත්පත් කලාවේ සැමටම ආදර්ශයකි. මග පෙන්වීමකි. ‘දිනමිණ’ කිසිදා ජනප්‍රිය රැලි තෝරා ගත්තේ නැත. ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය තෝරා ගත්තේ නැත. මුදල් ඉපැයීම එකම බලාපොරොත්තුව වූයේ ද නැත.

‘දිනමිණ’ ට ආවේනික ගමනක් ඇත. ‘දිනමිණ’ රැකිය යුතු දෙයක් ඇත. ‘දිනමිණ’ ට රට ජාතිය වෙනුවෙන් කළ යුතු වගකීමක් සේම යුතුකමක්ද ඇත. ඒ වගකීම යුතුකම රැක ගනිමින් වසර සියයක් පුරාවට පැමිණි ගමනේදී ‘මල්’ සේම ‘ගල්’ ද ‘දිනමිණ’ එක ලෙසින් බාර ගත්තේය. ඒවා දෙස මැදහත් සිතින් බැලුවේය.

ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධනයන් ‘දිනමිණ’ ට පණ දුන්නේ හොඳ සිතිනි. ඒ නිසාම ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ මහගෙදර වැඩිමලා වීමට දිනමිණට හැකි විය..

‘දිනමිණ’ ආරම්භක කර්තෘ එච්. එස්. පෙරේරා මහතා නොවන්නට වසර සියයක් පිරෙන ‘දිනමිණ’ ක් ගැන අපට කතා කරන්න ඉඩක් ඉතිරි නොවනු ඇත. මේ දෙපොළ සේම ‘දිනමිණ’ වසර සියයක් දුර ගෙන ඒමට කර උර දුන් දහඩිය කඳුළු හෙලූ සියලුම සහෘදයන් මේ අවස්ථාවේ අප සිහිපත් කළ යුතුව ඇත.

වසර සියයක් ගතවූවත් ‘දිනමිණ’ යුග කාර්ය භාරය තවම අවසන් නැත. ඒ නොනිමි මෙහෙවර තවත් වසර දහස් ගණනක් ඉදිරියට කර ගෙන යාමට හෙට දවසට ඉඩ සැලසීම අපේ යුතුකම වනු ඇත. ‘දිනමිණ’ වෙනුවෙන් අප කැපවී ඇත්තේ ඒ යුතුකම සහ වගකීම හෘද සාක්ෂියට එකඟව කිරීමටය.

ආදරණීය ‘දිනමිණ’ ! සුබ උපන් දිනයක් !!

ගාමිණි ජයලත් සංස්කාරක

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්