වසර සියයක අභිමානය

වසර සියයක අභිමානය

“සත්‍යය පරම පූජනීයයි” පුවත්පත් කලාවේදියකු අනුගමනය කළ යුතු අගනා ප්‍රතිපත්තියයි. පුවත්පත් කලාවේ සියලු මූලධර්ම එම පාඨයෙහි ගැබ්ව තිබේ. කුමන ප්‍රවෘත්තිය වාර්තා කළත් පාඨකයින්ගේ විශ්වාසනීයත්වය රැක ගැනීමට කටයුතු කළ යුතුවේ.

සන්නිවේදනය වූ කලී මානව අන්තර් ක්‍රියාවකි. ශිෂ්ටාචාරය, කලාව, විද්‍යාව, අධ්‍යාපනය, පාලනය මිනිස් සමාජයේ පැවැත්මට අවශ්‍ය සෑම දෙයක්ම ජනමාධ්‍යයෙහි ගැබ්ව තිබේ. ජනමාධ්‍යයේ උසස්ම උපකරණය පුවත්පතය.

අධිරාජ්‍යවාදින් විසින් මෙරටට පුවත් පත හඳුන්වා දුන්නේ ඔවුන්ගේ අදහස් මහජනයාට අවබෝධ කරදීමට. එමගින් ඔවුන්ගේ බලය තහවුරු කරගැනීමට අපේක්ෂා කළහ. එහෙත් දහනව වන ශත වර්ෂයේ මැද භාගය වනතුරුම පුවත්පත් පළවූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බැවින් ඒවායේ පාඨක පිරිස වූයේද වැඩි වශයෙන් ඉංග්‍රීසි ජාතිකයින්ය.

1862 වසරේ සිට සිංහල ජනතාව වෙනුවෙන් විවිධ පුවත්පත් ආරම්භ විය. පුවත්පත් කියවන සිංහල ජනතාව වෙනුවෙන් දිනපතා පළවූ ප්‍රථම පුවත්පත “දිනමිණ” වේ. 1909 වසරේදී “දිනමිණ” පුවත්පත බිහිවීමත් සමග මෙරට පුවත්පත් කියවන සිංහල ජනතාවගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මෙරට සිංහල පාඨකයින් වෙනුවෙන් බිහිවූ ප්‍රථම ප්‍රධාන පුවත්පත දිනමිණ ය. එවකට මෙරට සිංහල ජනතාවගේ ජීවන තත්ත්වය සමඟ බැඳුණු තොරතුරු පිළිබඳ “දිනමිණ” පුවත්පතෙහි සඳහන් විය. කෘෂිකාර්මික ජීවන රටාවකට පුරුදු පුහුණුව සිටි සිංහල ජනතාවට තොරතුරු සැපයීම විශේෂ කාරණාවකි.

එවකට සීමිත සංඛ්‍යාවක් වූ පුවත්පත් කලාවේදීන්ට අධිරාජ්‍යවාදීන් ගෙන් විවිධ බලවේග පැමිණිය ද නිරුපද්‍රිතව “දිනමිණ” පුවත්පත වැජඹෙන තත්ත්වයකට පත් කරන්නට ඔවුහු සමත් වූහ.

1930 වසරේදී සතිපතා සිළුමිණ පළ කිරීමත් සමග සිංහල පුවත්පත් ලෝකය පුළුල් වූයේය. දේශපාලනය, සාහිත්‍යය, කලාව, අධ්‍යාපනය, සංස්කෘතික තොරතුරු සපයමින් ලේක් හවුස් ආයතනය බිහිකළ දිනමිණ සහ සිළුමිණ පුවත්පත එවකට තරගකාරිත්වයක් ඉටුකළේය. අනෙකුත් දිනපතා සිංහල පුවත්පත් ආරම්භ වූයේ 1947 න් පසුවය. 1948 දී අප නිදහස ලැබීමත් සමග මෙරට සිංහල පුවත්පත්වලද තොරතුරු සැපයීමේ යම් පිබිදීමක් ඇතිවිය.

“සත්‍යය පරම පූජනීයයි” පුවත්පත් කලාවේදියකු අනුගමනය කළ යුතු අගනා ප්‍රතිපත්තියයි. පුවත්පත් කලාවේ සියලු මූලධර්ම එම පාඨයෙහි ගැබ්ව තිබේ. කුමන ප්‍රවෘත්තිය වාර්තා කළත් පාඨකයින්ගේ විශ්වාසනීයත්වය රැක ගැනීමට කටයුතු කළ යුතුවේ. දිනමිණ ආරම්භයේ සිටම මේ කරණු අවබෝධ කරගෙන ක්‍රියා කරමින් පාඨක විශ්වාසය දිනාගෙන තිබේ.

පුවත්පතක් කෙරෙහි පාඨක රුචිය රඳවා තබා ගැනීමේ ප්‍රබල සාධකය ප්‍රවෘත්ති වාර්තාකරණයයි. ප්‍රවෘත්ති පුවත්පතක හදවත ලෙස හැඳින්වේ. සත්‍ය හා නිවැරැදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පාඨක විශ්වසනීයත්වය දිනාගත හැකිවේ. නිවැරැදි හා සත්‍ය තොරතුරු සැපයීම පුවත්පත් කලාවේදියාගේ වගකීම වේ. සංවෘත දේශීය ආර්ථික තත්ත්වයක අධිරාජ්‍යවාදී බලපෑම් මත සිංහල පාඨකයන් වෙනුවෙන්ම “දිනමිණ” එවකට තොරතුරු සැපයීය. දේශපාලන තත්ත්වයන් පාඨකයින් වෙනුවෙන්ම සැබෑ ලෙසම වාර්තා කරනු ලැබීය.

අප ලැබූ නිදහස සමඟ “දිනමිණ” වාර්තා සැපයීම වෙනසකට ලක් කොට තිබේ. ලාංකික අනන්‍යතාව තහවුරු කිරීම විශේෂත්වයක් විය. ජතික, ආගමික, සංස්කෘතික, සමාජයීය හා දේශපාලන තොරතුරු නව මුහුණුවරකින් තොරතුරු පළ කෙරිණි. නිදහසේ පිබිදීම පුවත්පතට තිබූ සීමාවලින් නිදහස් වී තිබේ. ඉන්පසුව සිදුවූ දේශපාලන පෙරැළි, ආණ්ඩු වෙනස්වීම්, දේශපාලන කුමන්ත්‍රණ, රටේ තොරතුරු පිළිබඳ සැබෑ ලෙසින්ම “දිනමිණ” වාර්තා කෙළේය.

1947 න් පසුව බිහිවූ තවත් දිනපතා සහ සතිපතා සිංහල පුවත්පත් සමඟ “දිනමිණ” පුවත් තරගකාරිත්වයට පිවිසියේය. ලංකාවේ ප්‍රථම දිනපතා පුවත්පත ලෙස එළිදැක්වූ අවස්ථාවේ මෙරට සිංහල පුවත්පත් කියැවූ පාඨකයෝ දිනමිණෙන් බැහැර නොවූහ.

ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමෙන් පසුව ප්‍රවෘත්ති වාර්තා කිරීමෙහි වෙනස් කිරීමකට ලක්විය. ස්වාධීන ප්‍රවෘත්ති පළකිරීමකට දිනමිණ ප්‍රමුඛත්වය ලබාදුන්නේය. 1978 දී සිදුවූ විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීම ප්‍රවෘත්ති සැපයීම ද වෙනස් මඟකට යොමු කෙරිණි.

1980 දසකයේදී රූපවාහිනි තාක්ෂණයේ නවාංග වන කේබල් විකාශ සහ චන්ද්‍රිකා විකාශ ද වීසී ආර් නමින් හැඳින්වෙන වීඩියෝ පට වාදන යන්ත්‍රද පැතිර ගියේය. 1950 වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ රූපවාහිනි මධ්‍යස්ථාන ගණන 98 කි. මෙරට විද්‍යුත් මාධ්‍ය ලෙස පැවති ගුවන් විදුලියට පසුව විද්‍යුත් මාධ්‍ය ආයතන ගණනාවක් ආරම්භ කෙරිණි.

පුවත්පත් මාධ්‍ය ආයතන, ගුවන් විදුලි සහ රූපවාහිනී මාධ්‍ය ආයතන ගණනාවක් මෙරට බිහිවූයේ 1980 දසකයේ අවසානයේදීය. ප්‍රධාන වශයෙන් දේශපාලනික මතවාද ප්‍රචාරය කිරීමට සහ විවිධ න්‍යාය පත්‍රයන් අනුව මාධ්‍ය ආයතන ක්‍රියාවට නැංවිණි.

සන්නිවේදන තාක්ෂණය සමග තොරතුරු සහ සන්නිවේදනය ලොව පුරා ඉහළ තලයකට පැමිණ සිටිති. ගෙවී ගිය දසකයක පමණ කාලයක් ඉතා ප්‍රබල ආකාරයේ සන්නිවේදන ජාලයක් ඇතිවී තිබීමත් සමග ලොව පුරා වැඩි අවධානයක් යොමු වී තිබේ.

පුවත්පත් ආයතන, ගුවන් විදුලි සහ රූපවාහිනි මාධ්‍ය ආයතන බිහිවීම සහ විශේෂයෙන් කෙටි තරංග මාධ්‍ය කලාවක් බිහිවීම සහ ලෝක සන්නිවේදනය සමග වූ තරගකාරිත්වයට දිනමිණ මුහුණ දුන්නේය.

ඇසට දුටු දෙය, කනට ඇසුණු දෙය ඒ අයුරින්ම පොදු ජනතාව වෙතට සැපයීම ප්‍රවෘත්තියක් නොවේ. මුළු මහත් ජනතාව වෙත ප්‍රවෘත්ති සැපයීමේදී වගකීමකින් කටයුතු කළ යුතුවේ. සත්‍ය හා නිවැරැදි තොරතුරු ඉතා වගකීමෙන් ප්‍රවෘත්ති පළකිරීමට දිනමිණ නිරතුරුවම ක්‍රියා කෙළේය.

නිවැරදි බස, අක්ෂර විඥානය, උක්ත ආඛ්‍යාතය නිවැරැදි වහර දිනමිණ හි වසර සියයක් පුරා ආරක්ෂා කෙළේය. ලොව තොරතුරු තාක්ෂණය දියුණුව සමග තරගකාරීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් නිවැරැදි මෙහෙයවීමක යෙදුණේය. වානිජත්වය සමග ඉදිරියට ගියේය. දිනමිණ ට වසර 50 ක් පිරෙන විට ආරම්භයේ ද වාර්තා කළ ප්‍රවෘත්ති දැන්වීම හාත්පසින්ම වෙනස් වූයේය.

චන්ද්‍රානි මාරසිංහ

වසර 75 ක් පිරෙන විට ප්‍රවෘත්ති ආවරණය තරගකාරිත්වය සමග ඉදිරියට ගියේය. වසර සියයක් පිරෙන මේ අවස්ථාවේදී ඉතා ජයග්‍රාහීව සියගු අභියෝගවලට මුහුණ දී සිටිමු.

දිනමිණට උරුමවූ අනන්‍යතාව සැමදා ආරක්ෂා කර ගනිමින් වසර සියයක දගු ගමනේදී සැබෑ ප්‍රවෘත්ති ආවරණයක යෙදෙමින් අභිමානනීය ගමනක යෙදී සිටින්නේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්