දිනමිණ ඉතිහාසය රස කළ කාටූන්

දිනමිණ ඉතිහාසය රස කළ කාටූන්

රුවන් තරස්වින්

මිනිසා ශිෂ්ටාචාරයට පත්වන්නට පෙර අවදියේ සිටම චිත්‍රය මිනිසාට සමීප විය. ගුහා චිත්‍ර එයට එක් නිදර්ශනයකි. පසුව මිනිසා බිත්තිවල, මැටි ඵලකවල ගස් පොතුවල පවා චිත්‍ර නිර්මාණය කිරීමට පුරුදු විය.

මේ අනුව විකාශනය වූ චිත්‍ර කලාව තෙල් සායම්, දියසායම්, පැස්ටල්, ග්‍රැෆික් චිත්‍ර, පුවත්පත් චිත්‍ර කතා ආදිය ලෙස වර්තමානයේ විවිධාකාර ලෙස භාවිතයට පත්වී ඇත.

මේ විවිධාකාර චිත්‍ර අතර 1754 මැයි මස 9 වැනිදා අමෙරිකාවේ ‘පෙන්සල්වේනියා ගැසට්’ පත්‍රයේ පළවූ, බෙන්ජමින් ප්‍රෑන්ක්ලීන් විසින් නිර්මාණය කරන ලද ‘එක්වන්න නැත්නම් මියයන්න’ නම් ලොව ප්‍රථම කාටූන් චිත්‍රය චිත්‍ර කලාවේ එක් සන්ධිස්ථානයක් බවට පත්විය.

මේ චිත්‍ර කලාව අමෙරිකාවෙන් යුරෝපයටත්, එංගලන්තයටත් ප්‍රංසයටත් පැතිර ගියේ ය. මේ කාටූන් චිත්‍ර කලාව ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් ගෙන ආවේ ඉංග්‍රිසීන් ය.

ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය බිහි වූ පසු මුද්‍රණය වූ පුවත්පත්වලට ද කාටූන් චිත්‍ර කලාව ක්‍රම ක්‍රමයෙන් ඇතුළු විය. එක්දහස් නවසිය පනහ දශකයේ දී මේ කාටූන් චිත්‍ර කලාව ප්‍රබල ලෙස ශ්‍රී ලංකාවේ පුවත්පත්වල එක් අංගයක් බවට පත්විය.

ලේක්හවුස් ආයතනයේ අපගේ ‘දිනමිණ’ පුවත්පතට ද කාටූන් ශිල්පීන්ගේ මෙහෙය වරින්වර ලබාගෙන තිබූ බව ද පෙනී යයි.

පනහ දශකයේ දී ‘දිනමිණ’ට කාටූන් ඇන්ද ශිල්පීන් අතර මාක් ගයිරන් ඕබ්‍රි කොලට් ප්‍රධාන තැනක් ගනී.

මොවුන් ඇඳි දේශපාලන කාටූන් එම වකවානුවේ තිබූ දේශපාලන වාතාවරණය අපට පෙන්වාදෙයි.

1962 දී මායාදුන්නේ නම් කාටූන් ශිල්පියා ඇඳි ‘අප්පුහාමි’ නම් දෙබස් නොමැති නිහඬ දිගු කාටූනයත් 1964 දී බන්ධුල හරිස්චන්ද්‍ර ඇඳි නිහඬ දිගු කාටූනය දුන් සමාජ පසුබිම් සහ සාමාන්‍ය ජනයාගේ ගති පැවතුම් පෙන්වා දෙන කාටූන් විය.

1964 දී ගිබ්සන් නම් කාටූන් ශිල්පියකු විසින් ‘දිනමිණ’ට තනිතීරුවේ පොකට් කාටූන් ඇඳ තිබුණි. මෙය වසර ගණනාවක් ම ‘දිනමිණේ’ පළවිය.

හතළිහ දශකයේ අගභාගයේ දී ‘දිනමිණේ’ පළවූ මුදලාලි කාටූනය නිර්මාණය කෙළේ එස්. ඩබ්ලිව්. ඩී. ජයසිංහ නමැති කාටූන් ශිල්පියා ය. සමාජයේ විවිධ සිදුවීම් ඔස්සේ මේ කාටූනය ව්‍යාප්ත විය.

මෙය දිගු කාටූනයක් විය. සමහර දිනවල දී කාටූනය පේලි දෙකකින් ද සමන්විත විය. 1960 මුල් කාලයේ දී ‘මොකෝ’ නමින් දෙබස් නොමැති කාටූනයක් පළවිය. එය වසර කීපයක් ම පළවිය. එස්. කරුණාදාස ‘දිනමිණ’ මුල්පිටුවට ඇඳි පොකට් කාටූනය පළවූයේ ‘සිනාරැල්ල’ නමින් ය.

මොහුගේ කාටූන් කිසිදිනක දේශපාලන තේමාවන් ගත්තක් නොවී ය. පුළුල් සමාජගත ප්‍රශ්න මනුෂ්‍ය ගතිසොබාද සූක්ෂම ලෙස ප්‍රතිනිර්මාණය කොට පාඨකයන්ට අසීමිත විනෝදාස්වාදයක් සමඟ සමාජ අවබෝධයක් ලබාදීමේ තියුණු හැකියාවක් ඔහුට තිබුණි.

බී. බී. ඕපාත 2002 වර්ෂයේ දී ‘දිනමිණ’ ට දේශපාලන කාටූනයක් සැපයීය. ඔහුගේ කාටුන් වසර දෙකක් පමණ ‘දිනමිණේ’ පළවිය. අනිල් නිශාන්තගේ දේශපාලන කාටූනය 1999 වර්ෂයේ සිට 2001 දක්වා ‘දිනමිණ’ පත්‍රයේ පළවිය.

වර්තමානයේ ‘දිනමිණේ’ දේශපාලන කාටූන් ශිල්පීන් වශයෙන් සිටින්නේ රුවන් තරස්වින් හා ප්‍රීති කන්නන්ගරයි.

තරස්වින් වසර ගණනාවක සිට ම ‘දිනමිණට’ කාටූන් නිර්මාණය කරණ අතර ප්‍රීති 2005 වර්ෂයේ සිට කාටූන් නිර්මාණය කරමින් සිටී.

මේ ලියුම්කරු ජර්මනියේ, අසර්බයිජානයේ ස්විට්සර්ලන්තයේ, ඉරානයේ හා ඊශ්‍රායලයේ පැවැති අන්තර්ජාතික කාටූන් තරග රාශියකින් ප්‍රථමස්ථාන කුසලතා සම්මාන ලබා ගත්තෙකි.

ප්‍රීති කන්නන්ගර 2008 දී ට්‍රාන්ස්පේරන්ට් ඉන්ටර්නැෂනල් ආයතනය මෙහෙයවූ ‘අල්ලස්’ පිළිබඳ කාටූන් චිත්‍ර තරගයේ දී ප්‍රථම ස්ථානය ලබාගත්තේ ය. ‘දිනමිණේ’ මුල්පිටුවේ පොකට් කාටූනය වන මාතුපාල කාටූනය නිර්මාණය කරන්නේ ශාමින්ද ජයබාහුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්