වැජඹේවා තවත් සිය වසක්

වැජඹේවා තවත් සිය වසක්

සන්නිවේදන ක්‍ෂේත්‍රයේ අග්‍ර ඵලයක් ලෙස මුද්‍රණ ශිල්පය බිහිවීම සඳහන් කළ හැකිය. මුද්‍රණ ශිල්පයේ ආරම්භයත් සමඟ විවිධ පුවත්පත් සඟරා ආරම්භ විය. තොරතුරු දැන ගැනීමේ මිනිසා තුළ වූ සහජ ආශාව ඒ මඟින් සම්පූර්ණ විය.

අද මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය විශාල තරඟයක යෙදී සිටින බවද පෙනේ. ‘දිනමිණ’ පුවත්පත ආරම්භ වී වසර 100ට පා තබන මොහොතේ ‘දිනමිණ’ ආ ගමන් මඟ පිළිබඳව පුනරාවලෝකනයක යෙදීමට මෙය කදිම අවස්ථාවකි.

අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන් පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති උඩගබ්බල ඤාණාලෝක හිමිපාණෝ

ඕනෑම ආයතනයක සාර්ථකත්වයට පෙර සූදානම මෙන්ම පසු විපරමද අත්‍යවශ්‍ය සාධකයකි. ‘දිනමිණ’ ජාතික පුවත්පතකි. සාමාන්‍ය පුවත්පතකට වඩා වැඩි කාර්යභාරයක් ජාතික පුවත්පතකින් පාඨකයා බලාපොරොත්තු වේ.

එම කාර්ය සිදු කිරීම සඳහා පසුගිය කාලය තුළ ගත් ක්‍රියාමාර්ග සඵල වීද? එහි වූ අඩුපාඩු මොනවාද යන්න පිළිබඳ පසු විපරමක යෙදීමත් එම දුර්වලතාවන් හඳුනාගෙන නව ලොවට සරිලන සේ දිනමිණ පාඨකයා අතට පත් කිරීමත් එය ඉදිරියේ ඇති අභියෝගයක් කොට සැලකිය හැකි ය.

ජනතාව සත්‍ය තොරතුරු මගින් දැනුවත් කිරීමත් ඒ තුළින් ඔවුනට නිසි මඟ පෙන්වීමත් සන්නිවේදනයේ ප්‍රධාන අරමුණ විය යුතුය. වසර 2500කට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ ධර්ම සන්නිවේදනයේ මූලික පදනම වූයේ ද මෙයයි.

‘ මෙයම සත්‍යය අන් සියල්ල අසත්‍ය’ යනාදී ඉගැන්වීම් පැවති සමාජ ක්‍රමයක බුදුරජාණන් වහන්සේ නිසි මඟ පෙන්වීමෙන් ජනතාවට සත්‍ය පහදා දුන්හ.

ඔව්හු එම මඟ අනුගමනය කරන පිරිසක් බවට පත් කළහ. එහිදී ශ්‍රාවකයාට සත්‍ය තමාම අවබෝධ කර ගැනීමේ නිදහස උන්වහන්සේ අනුදැන වදාළහ. කේසපුත්ත නියම්ගමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කාලාමයන් අමතා පෙන්වා දුන්නේ එකී චින්තන නිදහසේ අග්‍ර ඵලයයි.

මුද්‍රිත මාධයක් ලෙස ‘දිනමිණ’ ජනතාවට සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් හා සමාජය දැනුම්වත් කිරීම සඳහා කළ සුවිශාල මෙහෙය ජාතික වගකීමක් කොට සිදුකරන ලද්දක් බව නොරහසකි.

රටක සංවර්ධනය යනු මං මාවත් ගොඩනැඟිලි ඉදිකිරීමම නොවේ. එම රටේ ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනයද ඊට සමගාමීවම දියුණු විය යුතුය.

ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනය පෝෂණය කිරීමේලා දිනමිණ කළ සේවය අනුපමේයය. විශේෂයෙන් බෞද්ධ ප්‍රබෝධය සඳහා එය කළ කාර්යභාරය අගය කළ යුතුය.

සිංහල සමාජය ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ මත පදනම වැටුණු සමාජ සංස්කෘතියක් හිමි ජාතියකි. වැවෙන් ගමේ ආර්ථිකයත් පන්සලෙන් ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයත් දියුණු කළහ. මිනිසාගේ ආර්ථික සංවර්ධනය සඳහා මෙන්ම ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ද මාධ්‍යයට කළ හැකි කාර්ය සුවිශාල වූවක්.

ඒ බව තේරුම් ගත් ‘දිනමිණ’ විවිධ ක්‍රම මගින් බෞද්ධ දර්ශනයේ එන ජීවන දර්ශනය ජනතාව වෙත සමීප කරවීම සඳහා කටයුතු කළ බව නොරහසකි. සතිපතා අතිරේකයක් ලෙස පළ කෙරෙන ‘ආලෝකෝ උදපාදි’ එයට කදිම නිදසුනකි. දහම් පිපාසාවෙන් පෙළෙන සමාජයට හරවත් යමක් ලබා දීමට ‘ආලෝකෝ උදපාදි’ සමත්ය.

ආහාර නිද්‍රා භය මෛථුනංච
සාමාන්‍ය වේතද් පශුභි: නරි,නාට්
ධමෙ¢හි තෙෂෂාවධිකො විශෙෂො
ධමෙ¢න හීනාඞ පශුභිඞ සථානා”

ආහාර ගැනීම, නිදා ගැනීම, බියවීම සිය පරපුර පවත්වාගෙන යාම මිනිසාද තිරිසනාද පොදුවේ ගත් කළ සිදු කරති. එහෙත් මෙම කටයුතු සිදු කරන පිළිවෙළ මිනිසාගේත් තිරිසනාගේත් අතර වෙනස පෙන්නුම් කරයි. මිනිසාත් තිරිසනාත් අතර වූ වෙනස නම් මිනිසා තුළ වූ ධර්මානුකූල පැවත්මයි. යහ පැවැත්මයි. යහ පැවත්මෙන් තොර මිනිසා ද තිරිසනා ද අතර වෙනසක් නැත.

ධර්මානුකූල සමාජයක් බිහි කිරීම සඳහා මාධ්‍ය සතු වගකීම සුවිශාලය. ‘දිනමිණ’ , ‘බොදු පුබුදුව‘ හරහා මේ සඳහා යම් පදනමක් දමා ඇතැයි අපට සිතේ. වෙසක් පොසොන් වැනි බෞද්ධ සමාජයට සුවිශේෂ පෝ දිනයන්හි විශේෂ ධර්ම අතිරේක පළ කරමින් මේතාක් දිනමිණ කළ සේවය ඉදිරියටද පවත්වාගෙන යනු ඇතැයි පාඨකයාගේ බලාපොරොත්තුවයි.

සිංහල සංස්කෘතිය තුළ ගමත් පන්සලත් අතර වූ බැඳීම ගහට පොත්ත මෙනි. ගමේ වැදගත්ම ස්ථානය වූයේ ගමේ විහාරස්ථානයයි. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ජනතාවගේ මාගෙ¡ාපදේශකයා විය. පවුලක් තුළ යම් අර්බුදයක් ඇති වූ විට ඒ සඳහා ධර්මානුකූල මඟ පෙන්වීම කෙළේ භික්ෂූන් වහන්සේ යි. ඒ නිසාම භික්ෂුව ‘ කුල දේවතා’ යන ගෞරව නාමයෙන් සිංහල සමාජය තුළ පූජනීයත්වයට පත්විය.

රටට යම් අනතුරක් සිදු වූ සෑම අවස්ථාවකම භික්ෂූන් වහන්සේ ජාතිය පුබුදු කිරීමේ කාර්ය සිය ජාතික යුතුකම කොට සලකා කටයුතු කළහ. පාලකයන්ට නිසි මඟ පෙන්වමින් ඔව්හු ධර්මානුකූල පැවත්මේ යෙදවූහ. ඒ නිසාම භික්ෂූන් වහන්සේ ‘ ජාතියේ මුර දේවතා’ යන ගෞරව නාමයෙන් සමාජයේ අභිවභූතයට පාත්‍ර වූහ.

අතීතයේ සිටම භික්ෂූව සතුව පැවැති සමාජ වගකීම හා එහි සාමාජික වගකීම හඳුනාගත් දිනමිණ ‘ ධර්ම මණ්ඩපය’ තුළින් දෑහිතකාමි සාසන භාරධාරී චිර රාත්‍රඥ මහ සඟරුවන රටට හඳුන්වා දුන්හ. ජනතාවගේ ගෞරවයට පාත්‍ර කළහ.

සාසනය යනු බෝධිය හෝ චෛත්‍ය හෝ නොව පිරිසුදු සිල්වත් මහ සඟරුවන බව අවබෝධ කරගත් ‘දිනමිණ’ භික්ෂූන් වහන්සේ නැති කල සාසනය ද නැත යන කාරණය තේරුම් ගෙන බුද්ධ සාසනයේ චිරස්ථිතිය පිණිස මහ සඟරුවන හඳුන්වා දීමෙන් කළ සේවය සුළු පටු නොවේ.

විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විවිධ ආගමික කටයුතු දිනපතා සිදුවේ. එම කටයුතු පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ඇති කරවීම සඳහා ද දිනමිණ උත්සාහ කළ බව අප සිහිපත් කරනුයේ කෘතඥතා පූර්වකවය.

‘ආනන්දයෙන් ප්‍රඥාව කරා’ පාඨකයාට මඟ පෙන්වීම මාධ්‍ය සතු වගකීමයි. හුදු විඥානය පමණක් නොව හරවත් දේ ඉදිරිපත් කිරීමෙන් ජනතාවගේ ප්‍රඥාව දියුණු කළ යුතුය. අද බොහෝ මාධ්‍ය තුළ නිවැරැදි භාෂා භාවිතය පිළිබඳ උනන්දුවක් නැත. ඒ පිළිබඳ දැනුවත් ද නැත. බස නොනසා බසෙන් ඇති ජීව ගුණය උකහා ඒ තුළ පාඨකයා රඳවා තබා ගැනීමට තරම් ‘දිනමිණ’ සමත් වී තිබේ.

එහි පළවන සමහර ශාස්ත්‍රීය ලිපි විද්වතුන්ගේ අවධානයට නිතැතින්ම යොමු වූ බව කිව යුතුමය. සමාජය භින්න රුචිකය. එකිනෙකාගේ අදහස් විවිධය. එකිනෙකා තුළ ඇති වින්දන අවශ්‍යතාද විවිධය. අනේක විධ සිතුම් පැතුම් හා රසිකත්වයෙන් යුතු සංකීර්ණ සමාජයකට සිය අනන්‍යතාව නොබිඳගෙන ලබා දෙන දැනුම අවබෝධය හා රසය වසර 100 පුරාවටම ‘දිනමිණ’ ගමන් කිරීමට මූලික පදනම වී යැයි සිතේ.

යමක් ආරම්භ කිරීම පහසු විය හැකිය. එහෙත් එය ඉදිරියට පවත්වාගෙන යාම අපහසු ය. ඊටත් වඩා වසර 100ක් එය රැගෙන යාම කෙතරම් ආශ්චර්යයක්ද? මේ ආ ගමන් මගෙහි විවිධ අභියෝග හමුවේ නොසැලී මහමෙරක් සේ සිය ජාතික වගකීම ඉටු කරමින් දිනමිණ කළ සේවයට සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවන බව කිව යුතු ය.

න්නිවේදනයේදී මැනවින් කරුණු තේරුම් කරදීම, විධිමත්ව පැහැදිළි කරදීම අත්‍යවශ්‍ය විය. එසේම සන්නිවේදනය කරන තොරතුරු සත්‍යම ඒවා විය යුතුය. මුල යහපත් මැද යහපත් අග යහපත් පාඨකයාට අයහපතක් නොවන යහපතක්ම සිදුවන සන්නිවේදනය ම දිගුකල් සමාජය තුළ පැවතීමට හේතු වේ. මේ සියලු ආකාරයෙන් යහපත් වු අර්ථයෙන් රසයෙන් පරිපූර්ණ වූ දිනමිණ තවත් සියවසක් වැජඹේවායි අපගේ පැතුමයි.


සබැඳි පුවත්