ආරක්ෂක ප්‍රවෘත්ති සොයන්න ‘දිනමිණ’ යොදාගත් සියුම් උපක්‍රම

ආරක්ෂක ප්‍රවෘත්ති සොයන්න ‘දිනමිණ’ යොදාගත් සියුම් උපක්‍රම

ශක දෙකක පමණ කාලයකදී අපේ ‘දිනමිණ’ පුවත්පතට ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තා කිරීමෙන් ලබා ගැනීමට හැකිවූ අත්දැකීම් සම්භාරය අප්‍රමාණය.

1996 දී මා ‘දිනමිණ’ ට පැමිණෙන විට එහි ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තා කිරීමේ ප්‍රබලයා බවට පත්ව සිටියේ එවකට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ තිලක් සේනානායක මහතාය. අද ඔහු කපිතාන් තිලක් සේනානායකය.

ත්‍රිවිධ හමුදාව තම හදවත සේ සලකා ප්‍රවෘත්ති වාර්තා කරණයේ යෙදී සිටි තිලක් සේනානායක මහතා ඒ වන විට ‘දිනමිණ’ පුවත්පතේ මාධ්‍ය වේදියකු වී වසර ගණනාවක් ගතවී තිබුණි.

අ.පො. ස. උසස් පෙළ සමත්ව නීතිය හදාරමින් සිටි මා ‘දිනමිණ’ ට එක්වුණේ අහම්බෙනි. පුවත්පත් කලාව පිළිබඳ හරිහැටි අවබෝධයක් නොමැතිව සිටි මා හට ඒ පිළිබඳව මූලික දැනුම ලබාගෙන මාධ්‍යවේදියකු ලෙස නොබියව ඕනෑම තැනකට ගොස් ප්‍රවෘත්ති ලබාගැනීමට හැකි ශක්තිය ධෛර්්‍ය ලැබුණේ එවකට “දිනමිණ” ප්‍රවෘත්ති කර්තෘව සිටි ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතාගෙන්ය.

නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ ධූරය දැරූ සී.පී. කුරුප්පු මහතා, සමන් චන්ද්‍රනාත් වීරසිංහ සහ පියසේන ඉහළවිතාන යන මහත්වරුන්ගෙන් ලත් උපදෙස් මත ඕනෑම තැනකට ගොස් ලබාගත නොහැකි ඕනෑම ප්‍රවෘත්තියක් ලබා ගැනීමේ හැකියාවට අවශ්‍ය දැනුම ඇතිවිය.

1986 වනවිට මෙරට ත්‍රස්තවාදය හා සම්බන්ධ බරපතළ තත්ත්වයක් පැවැතියේ නැත. එකල තිබූ ප්‍රශ්නය ජ.වි.පෙ. මෙරටේ ඇතිකර තිබූ භීෂණකාරී වාතාවරණයයි. හිටිහැටියේ ඔවුන්ගේ ව්‍යාපාරය මගින් පනවනු ලැබූ තුªණ්ඩු ඇඳිරිනීතිය නිසා මහජනතාවට විඳින්නට සිදුවූ පීඩනය අප්‍රමාණය. කෝට්ටේ මා සිටි බෝඩිමේ සිට ආයතනය දක්වාම පයින් යාමටත් ඒමටත් සිදුවූ අවස්ථා අප්‍රමාණය.

එවකට මෙරට සිටි ජනතාවට යුද්ධය බෝම්බ පිළිබඳ බියක් ඇතිවෙමින් පැවතුණි. ජ.වි.පෙ භීෂණකාරී ක්‍රියා නිසා භීතියකට පත්ව සිටි මහජනතාවට ත්‍රස්තවාදය නිසා යළිත් භීතියක් ඇතිවී තිබුණි. නැගෙනහිර පළාතේ මේ ත්‍රස්තවාදී ක්‍රියා වැඩිවශයෙන් සිදුවීමට පටන්ගෙන තිබුණි. හිටි හැටියේ ත්‍රස්තවාදී කණ්ඩායම් ගම්මානවලට කඩා පැන එහි අහිංසක ගම්වැසියන් නිදිපැදුරේම කපා කොටා මරා දමන ලදී.

විජයානි එදිරිසිංහ

රාත්‍රී කාලයේ ගමන් ගන්නා බස්රථවලට පැන එහි මගීන් අමු අමුවේ මරා දමන ලදී. ඔවුන් සතු දෑ කොල්ල කෑහ. ආරක්ෂක හමුදාවල අය ඝාතනය කැරිණි. මේ තත්ත්වය වර්ධනය වීමත් සමඟම නැඟෙනහිර පළාතේ හමුදා මෙහෙයුම් ගණනාවක් ආරම්භ විය. එවකට ජ්‍යෙෂ්ඨ හමුදා සෙන්පතියකු වූ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු හමුදාවේ රණවිරුවෝ ත්‍රස්තවාදය විනාශ කර දැමීමේ එම මෙහෙයුම්වල නිරතව සිටියහ.

එවකට පෙරවරු 6.30 – 7.00 වනවිට කාර්යාලයට පැමිණීම අපේ පුරුද්ද විය. පාන්දරින්ම පැමිණි විගසම තිලක් සේනානායක මහතා නැගෙනහිර හෝ උතුරේ සිට යුද්ධයේ තොරතුරු සහිත ප්‍රවෘත්ති ලබාදෙයි. පෙරවරු 8 – 9 වනවිට පසු දිනට අවශ්‍ය “ලීඩ්” එකද ලැබී අවසානය.

අප පැමිණ සුළු වේලාවකින් කාර්යාලයට එන ප්‍රවෘත්ති කර්තෘ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා බෑගයක් වතුර බෝතලයක් මේසය මත තබන ගමන්ම අසන්නේ ‘විජයානි මොනවද අද තිබෙන්නේ’ යනුවෙනි. එවකට සිටි ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතා පෙරවරු 7 පමණ වනවිට සෑම දෙපාර්තමේන්තුවක් පුරාම ඇවිද යයි. එහි සිටි සේවක - සේවිකාවන් සමඟ සුහද ලෙස කතා බස් කිරීමද පුරුද්දකි. බෝධිනාගොඩ මහතා බොහෝ විට පාන්දරින් අපට ලැබුණ ප්‍රවෘත්ති ගැන විමසීමට අමතක කෙළේ නැත.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිගේ පාලන කාලය අවසන් වී රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් වූ පසු ලේක්හවුස් සභාපති ධූරයට පත්වූයේ නීතිඥ සුනිල් රොද්‍රිගු මහතාය. මේ අතර මාධ්‍යවේදී තිලක් සේනානායක මහතාට කතා කළ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා යුද්ධය පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකිරීමට මාහට උදව් කරන්නැයි පැවැසීය. ඒ අතර සභාපති සුනිල් රොද්‍රිගු හා එවකට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ලෙස සිටි බී.එම්.එස්.ජයවර්ධන මහතාත් ප්‍රධාන කර්තෘ ජී.එස්.පෙරේරා මහතාට කතාකර යුද්ධය වාර්තා කිරීම පිළිබඳ මා හට බාර දෙන්නැයි පැවැසීය. මම එයට කැමැති වුනෙමි.

මාධ්‍යවේදී තිලක් සේනානායක මහතා එවකට හමුදාපතිව සිටි ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මහතා හමුවීම පිණිස මට ලිපියක් දුන්නේය. එහි සඳහන් වූයේ “තාත්තේ අපේ පුවත්පතේ සහෝදරියක්, ඇයට යුද්ධය වාර්තා කිරීමට උදවු කරන්න යනුවෙනි. එහි තාත්තා ලෙස ආමන්ත්‍රණය කර තිබුණේ හමුදාපතිටය.

මම මේ ලිපියද රැගෙන යුද හමුදාපති කාර්යාලය වෙත ගියෙමි. බියෙන් ගැහෙමින් ගිය ඒ ගමනේදී මට හමුදා නිලධාරියකු ලෙස ජීවිතයේ ප්‍රථම වරට හමුවූයේ හමුදාපතිගේ පෞද්ගලික නිලධාරියාව සිටි මේජර් භාතිය ජයතිලක මහතාය. තිලක් සේනානායක මහතා දුන් ලිපිය කියවූ මේජර් භාතිය ජයතිලක මට හමුදා නිලධාරීන් ගණනාවක් හඳුන්වා දුන්නේය.

අනතුරුව යුද හමුදා රෝහලට ගෙනවිත් සිටි යුද්ධයෙන් තුවාල ලැබූ හමුදා විරුවන් පිළිබඳව වාර්තා කළ හැකිදැයි විමසීය. මම ඊට කැමැති වුනෙමි. ඒ අනුව මා හමුදා රෝහල බාරව කටයුතු කළ එවකට කර්නල් ඩඩ්ලි පෙරේරා වෙත යැවීය. ඒ මහතා රෝහලේ සිටි සැරයන් මේජර්වරයකු සමඟ රෝගී හමුදා වීරයන් පිළිබඳ විස්තර ලබා ගැනීමට යැවීය.

යුද හමුදා රෝහලේ සෑම වාට්ටුවක්ම තුවාල කරුවන්ගෙන් පිරී පැවතුණි. බොහෝ හමුදා විරුවන් යුද්ධයකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාවිය. එකින් එක හරියටම ගළපාගෙන තොරතුරු එක්රැස් කර ගැනීම පිළිවෙළකට කර ගැනීම මාහට අපහසු වුවත් මම බොහෝ දෙනෙක් හමුවී විස්තර ලබා ගත්තෙමි.

අද අපේ හමුදා වීරයන් කෙරෙහි පවතින්නාවූ ආත්ම ශක්තිය චිත්ත ධෛර්ය එදා යුද්ධයට මුහුණ දුන් සෑම විරුවකු කෙරෙහිම පැවැතිණි. ඔවුන් මාධ්‍යයට කතාකෙළේ දැඩි කැමැත්තකිනි. අත් පා නැති ඇස් නැති බොහෝ දෙනා එහි වූහ. යුද්ධ පිටියේ දී ඊට පැය කීපයකට පෙර තුවාල වී උණු ලේ ගලමින් රෙදි කැබලි ඔතා තුවාල ගැටගසා ප්‍රතිකාර ලබාදීමට ඒ මොහොතේම ගෙනවිත් තිබූ තුවාලකරුවෝද වූහ.

එතෙක් එවැනි බරපතළ තුවාල, ලේ නොදැක තිබූ මාහට එය එක් පැත්තකින් පිළිකුලක්ද, අප්‍රසන්න බවක්ද තවත් පැත්තකින් දැඩි අනුකම්පාවක් ද විය. සියලු තොරතුරු රැගෙන රෝහලින් පිටව කාර්යාලය වෙත පැමිණි මම තිලක් සේනානායක මහතාටත් ගුණරත්න මහතාටත් ලබාගත් තොරතුරු ගැන පැවසුවෙමි.

ගුණරත්න මහතාගේ මුහුණේ කදිම ජයග්‍රාහී සිනාවක් මතුවිය. ඒ හෙට දවසට හොඳ ප්‍රවෘත්තියක් ලැබීම නිසා ලැබුණු සතුටයි. ඔහු සියලු තොරතුරු මූලිකව මගෙන් විමසා සටහන් කර ගෙන සෑම සොල්දාදුවකු ගැනම කළ කතා වෙන වෙනම සටහන් කිරීමට උපදෙස් ලැබුණි.

පසුදින “දිනමිණ” පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන හමුදා විරුවන් පැවසූ කතාවලින් සැකැසූ විශිෂ්ට කතාවකි. ඒ සමඟම ඔවුන් පැවැසූ සෙසු විස්තර දිනමිණ තුන්වැනි පිටුව පුරාම පළ කෙරුණි. එම ප්‍රවෘත්ති වෙනත් පුවත්පත්වලට ලැබී තිබුණේ නැත. “ඩේලි නිව්ස්” පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඒරන් මහතාද එම ප්‍රවෘත්තිය ඒ ආකාරයෙන්ම ලබාගෙන තිබුණි.

යුද්ධය වාර්තා කිරීමේ අවස්ථාව මා හට හිමිවූයේ එසේය. මේ අතර තිලක් සේනානායක මහතා බෙදා හැරීම් අංශයේ තනතුරකට පත්වී යාමත් සමඟ ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තා කිරීම සම්පූර්ණයෙන්ම මා වෙත පැවරුණි.

අද මෙන් එදා හිටි හැටියේ දුරකතනයෙන් අපට හමුදා කඳවුරුවලට හෝ යුද පිටියේ සිටින හමුදා නිලධාරීන් අත තිබෙන ජංගම දුරකතනයකට හෝ කතා කිරීමේ පහසුකම් පැවැතියේ නැත. ඉතා අමාරුවෙන් දුක් ගැහැට විඳ ඒවා සොයා ගැනීමට වෙහෙසවීමට සිදුවිය.

එහෙත් මා එක්තරා උපක්‍රමයක් සොයාගත්තෙමි. එනම් ඒ වනවිට මා හඳුනාගෙන සිටි හමුදා මූලස්ථානයේ නිලධාරීන්ට කතාකර යුද්ධයේ තොරතුරු ලබා ගැනීමයි. එසේත් නොමැතිනම් උතුර – නැඟෙනහිර හමුදා කඳවුරක දුරකතන අංකයක් සොයාගෙන එම කඳවුරට කතා කෙළේ හමුදා නිලධාරියකුගේ බිරිය ලෙසය. එසේ කතාකර සිද්ධිය හා එහි සත්‍යතාව තහවුරු කර ගනිමින් ප්‍රවෘත්ති ලබා ගැනීමද මා අනුගමනය කළ තවත් උපක්‍රමයකි.

අලිමංකඩ දී කොටින්ගේ බුල්ඩෝසර් පෙළකට කඩා වැදී ජීවිතය පරිත්‍යාග කළ හසලක ගාමිණී නමැති වීරෝදාර රණවිරුවා පිළිබඳ යන්තම් තොරතුරක් ලැබී තිබුණි. ඔහු සිදුකළ ජීවිත පරිත්‍යාගය පිළිබඳ තොරතුරු සෙවීමට ගුණරත්න මහතාගෙන් උපදෙස් ලැබුණි.

සිද්ධිය සිදුවූයේ කොහේද, කොහොමද කවුද යන්න පිළිබඳ හරි හැටි තොරතුරක් නොමැතිව මේ සිද්ධියට සම්බන්ධ ප්‍රවෘත්තිය සොයා ගැනීම බරපතළ ගැටලුවක් විය. එහෙත් දැරූ උත්සාහයේ ප්‍රථිඵලය ලෙස පැය භාගයක් ගත වීමටත් පෙර සිද්ධියට සම්බන්ධ තොරතුරු සොයාගැනීමට හැකිවිය. ඒ සමඟම ගුණරත්න මහතා මහනුවර දිනමිණ කාර්යාලයේ සිටි මාධ්‍යවේදීන්ට හසලකට ගොස් ගාමිණීගේ නිවස සොයා පවුලේ තොරතුරු ලබා ගැනීමට උපදෙස් දුන්නේය. පසුදින පුවත්පතේ ගාමිණීගේ ඡායාරූපය සහිත එම ප්‍රවෘත්තිය කදිමට වාර්තාවී තිබුණි.

අච්චුවේලිහී යුද පිටියේදී

එම වකවානුවේම වැලිඔය ප්‍රදේශයේ දරුණු ගැටුම් ඇතිවිය. මෙහෙයුම් ගණනාවක් ක්‍රියාත්මක විය. එහි මූලිකත්වය දැරුවේ සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවයි. ඔහු සමඟ වචනයක් දෙකක් කතා කර යුද්ධය පිළිබඳ තොරතුරු ලබාගැනීම සුවිශේෂී කරුණක් විය. එදා දවසේ ප්‍රධානම අරමුණ වූයේ ඔහු දුරකතනයට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කිරීමයි.

වැලිඔය යුද හමුදා කඳවුරට දුරකතන ඇමතුමක් ගත් විට ඔහු එහි සිටියේ නැත. මෙහෙයුම් කටයුතු සෙවීමට ගොස් ඇති බව පැවැසීය.

දුරකතන ඇමතුම් හතක් අටක් ගත්තද ඔහු සොයා ගැනීමට නොහැකි විය. අනතුරුව දුරකතනයට පිළිතුරු දෙන හමුදා සැරයන්වරයා මා කෙරෙහි අනුකම්පා කර තව පැයකින් මම එම ස්ථානයේ තිබෙන සාකච්ඡාවකට ඔහු පැමිණෙන බැවින් එම වේලාවට කතා කරන ලෙස පැවැසීය.

ඒ අනුව පැයකින් කතා කළ විට දැන් සාකච්ඡාව ආරම්භ කර අවසන් බව ඔහු කීය. ඒ වන විටත් ඔහු සමඟ මා බොහෝ දුරට හිතවත්ව සිටි බැවින් මාගේ අවශ්‍යතාව ඔහු විසින් කඳවුරේ ඉහළට නිලධාරියකුට දැන්වීමට ඉඩකඩ සළසා දුන්නේය. ජෙනරාල් කොබ්බෑකඩුව සමඟ කතා කිරීමට එම නිලධාරියාගේ සහාය ලබා ගැනීමට හැකිවීම හොඳ ලකුණුක් විය.

සාකච්ඡාව අවසන් වීමට සුළු වේලාවක් තිබියදී විනාඩි දහයක් පමණ මා එක දිගටම දුරකතනයේ රැඳී සිටියෙමි. ඒ අතර සාකච්ඡාව අවසන් වීමත් සමඟම ජෙනරාල් කොබ්බෑකඩුව කෙළින්ම හෙලිකොප්ටරය නවතා තිබූ ස්ථානයට යාමට කඳවුරෙන් ඉවතට යමින් සිටින බව පැවැසූ හමුදා සාජන් වහාම දුවගොස් ඉහත කී හමුදා නිලධාරියාට මා දුරකථනයේ සිටින බව පැවැසීය.

එම නිලධාරියා ඒ බව ජෙනරාල් කොබ්බෑකඩුවට දැන්වූ අතර ඉතා නිහතමානී ගතිගුණ ඇති එතුමා පිටත්වූ ගමන මොහොතකට කල් දමා ආපසු දුරකථන කුටිය වෙත පැමිණ කතාකෙළේ “මොකක්ද දරුවෝ අහන්න තියෙන්නේ” යනුවෙනි. මා නැෙඟනහිර ජය ග්‍රහණය ගැන විමසූ විට ඔහු පැවැසුවේ “අපි යුද්ධය දිනනවා ත්‍රස්තවාදීන්ට හිස ඔසවන්න ඉඩ දෙන්නේ නැති බවයි. එතුමාගේ ඒ වචන කිහිපයෙන් සෑහීමකට පත්වූ මා එතුමාට තුණුරුවන්ගේ පිහිට ප්‍රාර්ථනා කර දුරකථනය තබා ප්‍රවෘත්ති කර්තෘ ගුණරත්න මහතාට ඔහු පැවැසූ දේ කීවෙමි. පසු දින දිනමිණ ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ කොබ්බෑකඩුව පැවැසූ ඒ වචන පෙළයි.

ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තා කිරීමේදී බොහෝවිට විවිධ වූ උපක්‍රම භාවිත කරමින් ඒවායේ සත්‍යතාව තහවුරු කරගත යුතුය. එම උපක්‍රමවලින් ප්‍රවෘත්තිය දන්නා පුද්ගලයා එක්තරා ආකාරයකින් රැවටීමකටද පත්වෙයි. එය වංචාවක් නොවේ. එය ප්‍රවෘත්තිය ලබාගත හැකි ක්‍රමයකි. එදා දවස ඇතුළත ප්‍රවෘත්ති ලබා ගැනීමට අද මෙන් පහසුකම් නොතිබූ නිසා මෙවැනි උපක්‍රම සිය ගණනක් භාවිතා කිරීමට සිදුවිය.

එක්තරා දිනෙක කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් (සංගම් දෙකක්) අතර මහා ගැටුමක් ඇතිවිය. බරපතළ තුවාල ලැබූ පිරිස කොළඹ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර තිබුණි.

දුක්බර මුහුණක් මවාගෙන

පොලීසිය රෝහල අසල වටකරගෙන තිබූ නිසා කිසිවකුටත් එහි යාමට ඉඩ නොදෙන ලදී. විශේෂයෙන් මාධ්‍යයට වාර්තා කිරීමට ඉඩ දුන්නේ නැත. එහෙත් එය වාර්තා කිරීම අපේ පුවත්පතට අවශ්‍යම දෙයක් විය. මම පොලිස් නිලධාරියකු වෙත ගියෙමි. බොහෝ දුක්බර මුහුණක් මවා ගත්තෙමි. ගම්බද අසරණ අහිංසක යුවතියක් ලෙස “අනේ සර් මගේ බෝයිෆෙන්ඩ් තුවාල වෙලා. මම කුරුණෑගල සිට ආවේ. මට එයා බලන්න යන්න දෙන්න යයි පැවසුවෙමි. ඔහු මට අනුකම්පා කෙළේය. හැඳුනුම්පත ඉල්ලා සිටි විට ආයතනයේ හැඳුනුම්පත සඟවා ජාතික හැඳුනුම්පත දුන්නෙමි. ඔහු එය බලා මට හදිසි අනතුරු ඒකකයට ඇතුළුවීමට අවසර දුන්නේය. මම වහා එහි ගොස් සියලු තොරතුරු ලබාගෙන ගුණරත්න මහතාට පැවසුවෙමි. පසුදින වෙනත් පුවත්පත්වලට නොමැති තොරතුරු රැසක් ලබාදීමට හැකිවීම “දිනමිණ ලැබූ ජයග්‍රහණයකි.

එම ප්‍රවෘත්ති වාර්තාකරණයේ දී තවත් සුවිශේෂී සිද්ධියක් වූයේ කපිතාන් සොයිසා යාපනයේ සිට හෙලිකොප්ටරයක යට එල්ලී රත්මලාන දක්වා පැමිණීමේ සිද්ධියයි.

සුවිශේෂි සිද්ධියක්

එනම් යුද්ධයක් පවතින අවස්ථාවේ ඔවුහු යාපනේ කඳවුරක සිරවී සිටියහ. බරපතළ තුවාල ලැබූ පිරිස ගෙන ඒමට කඳවුරට හෙලිකොප්ටර් බස්සවා තිබුණි. කපිතාන් සොයිසා තරමක රෝගී තත්ත්වයෙන් පසුවිය. ඔහුට වඩා අමාරු, රෝගීන් යානයට ඇතුළු කළ පසු එහි තවත් “ඉඩ තිබුණේ නැත” ඉන් කනස්සල්ලට පත්ව සිටි කපිතාන් සොයිසා හෙලිකොප්ටර් යානය ඉහළට ඔසවන විටම එහි යට කොටසේ එල්ලුනි. යානය විනාඩි හතලිස් පහක් පමණ ගත කර රත්මලානට එන තෙක්ම දෑතින් යානයේ එල්ලී කැප්ටන් සොයිසා පැමිණි ඒ ගමන තවත් ත්‍රාසජනක සිද්ධියක් විය. අනතුරුව ඔහු සමඟ කතාකර “දිනමිණ” ට වාර්තා කිරීමට හැකිවිය.

එක්තරා දිනයක හමුදා රෝහලට ගොස් යුද්ධයෙන් තුවාල ලැබූ හමුදා මේජර්වරයකුගෙන් විස්තර ලබාගනිමින් සිටියෙමි. මා ඔහුගෙන් පවුලේ තොරතුරු අසනවිට එතෙක් ඉහළ ආත්ම ශක්තියකින් එඩිතරව කතා කරමින් සිටි ඔහු එකවරම ඉකිගසමින් හඬන්නට පටන් ගත්තේය. මට පුදුම සිතුණි.

විනාඩි කිහිපයක් කඳුළු සැලූ ඔහු නිහඬ වී මට පැවසුවේ ඔහුගේ බිරිය පළවෙනි දරුවා ලැබීමට සිටින බවත් ඇය ඔහුට සිදුවූ අනතුර ගැන නොදන්නා බවත් ය. ඒ වන විට ඔහුගේ කකුලක්ද කපා තිබුණි. මටද දැඩි අනුකම්පාවක් ඇතිවිය. පසුව මා සමඟ සිටි හමුදා සාජන්වරයා පැවසුවේ හමුදා මේජර්ගේ බිරිය එම හමුදා රෝහලේම ඉහළ මාලයේ දරුවා ලැබීමට නවත්වා ඇති බවය. ඒ බව මේජර් නොදන්නා අතර ඔහුගේ බිරිය ඔහු රෝහලේ සිටින බව නොදන්නා බව කීය.

ත්‍රස්තවාදී සංවිධාන

ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ත්‍රිවිධ හමුදාව පොලීසිය පමණක් නොව ත්‍රස්තවාදී සංවිධාන සමඟද සම්බන්ධ වී ප්‍රවෘත්ති ලබා ගැනීමට හැකිවීම පසුගිය දශක දෙකේදී හැකි විය. එනම් කොටි සංවිධානයෙන් ප්‍රවෘත්ති ලබා ගැනීමයි. ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තාකරණයට සම්බන්ධ වී කොටි සංවිධානයෙන් ප්‍රවෘත්ති ලබාගැනීමට සම්බන්ධතාවක් ගොඩ නඟා ගැනීමට වසර පහළොවක් ගතවිය.

ඉහළම තැනක

දිගින් දිගටම දුරකතනයෙන් කතා කර ඇති කරගත් සම්බන්ධතාව ඔස්සේ නැගෙනහිර කොටි නායකයකු වූ එලිලන් කෞෂල්‍යයන්, තිලක්, කරුණා අම්මාන්, ස්වර්ණන් ඇතුළු නායකයන් කිහිප දෙනෙකුම හමු වී ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමට එම කොටි අඩවිවලට යාමට සිදුවීම “දිනමිණ” ලැබූ ජයග්‍රහණයකි.

එවකට මාධ්‍යවේදීන් බොහෝ විට කොටි සංවිධානය සමඟ සම්බන්ධතා ඇතිකර ගත්තේ රාජ්‍ය නොවන සංවිධාන හරහා වුවත් දිනමිණ ස්වාධීනව ම ඔවුන් හා සම්බන්ධ වී සාකච්ඡා කෙළේ රාජකාරියට පමණක් අවශ්‍ය සම්බන්ධතා සීමා මායිම් ඇතිවය.

මේ ආකාරයෙන් දශක දෙකක පමණ කාලයක් ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් දිනමිණ සෙසු මාධ්‍ය ආයතනවලට වඩා ඉහළම තැනක සිටි බව කිව යුතුමය. එම කාලයේ දිනමිණ හා ලේක්හවුස් ආයතනයේ සෙසු ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තා කරන මාධ්‍යවේදීන් අතර පැවැතියේ දැඩි සම්බන්ධතාවකි.

ප්‍රවෘත්ති වාර්තා කිරීමට ගුවන් යානයකින් යාපනයට යමින් සිටියදී කොටි ප්‍රහාරයෙන් මිය ගිය කිරම පියසෝම සහෘදයාද, යුද වාර්තාකරණයෙන් දායක වූ කීර්ති මෙන්ඩිස්, පණ්ඩුක සේනානායක, දීපාල් සමරසේකර දිනමිණ ට මෙන්ම සෙසු පුවත්පත්වල ආරක්ෂක ප්‍රවෘත්ති වාර්තාකරණයට සහයෝගය දුන් මාධ්‍යවේදීහුය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්