අතීතයෙන් බිඳක්...

අතීතයෙන් බිඳක්...

නිදහසට යන මාර්ගයේ සැතපුම් කණු”

ප්‍රමිතා රන්දලි පබසරා

ස්වරාජ්‍යය ලබාගැනීමේ ව්‍යාපාරයෙහි මූලිකයන් විසින් කරන ලද ප්‍රකාශ ඇසුරින් එම ලිපිය සැකසී ඇත. සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් නායක විනිශ්චයකාර තුමා, සර් ජේම්ස් පීරිස් මහතා, සර් ඩී.බී. ජයතිලක මහතා, සෝල්බරි සාමිවරයා ඇතුළු සමකාලීන විද්වතුන්ගේ අදහස් ඊට ගොනු කරගෙන ඇත.

අහඹු ලෙසින් තෝරාගත් ‘දිනමිණ’ පුවත්පත් කීපයක විශේෂාංග අතරට 1971 අප්‍රේල්” 06 දා ඇති වූ කැරැල්ල ගැන ලිපියක් දක්නට නොලැබීම කුතුහලයට කරුණුකි. කෙසේ වෙතත් එදින මුල්පිටුවේ ප්‍රධාන පුවතලෙස එය “කොළඹ පුරා ඇඳිරි නීතිය” තවත් දිසා දහයකට ලෙසින් එදින සිට දින කීපයක් පුරාම පළවී ඇති බව පෙනී යන්නකි.

1971 අප්‍රේල් මස 5 වැනි දින සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ 24 වන සමුළුව ලෝකවිත්ති විචාරය යටතේ පළකර ඇති ආකාරයෙන් පැහැදිලිවන්නේ දිනමිණ මුල් යුගයේ පටන් ම විදෙස් විත්ති වාර්තාකරණය ගැන සැලකිලිමත්වූ බවයි.

“ඇමෙරිකාවේ අධ්‍යාපනයෙහි උසස් අංග“

ජාතික සේවයට ලැදිකමක් ඇතිවන පරිදිත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති ගරුකවත් ජාතියේ ද, රාජ්‍යයේ ද ප්‍රයෝජනවත් සාමාජිකයෙකු වශයෙන් ජීවත්වීම සඳහා කරනු ලබන ඉගැන්වීම.

“සමාජයේ සෑම පුද්ගලයෙකුට ම ආර්ථික වශයෙන්ද, සමාජීය වශයෙන් ද, අධ්‍යාපනය අතින් ද අවස්ථාවක්, අර්ථ සිද්ධියක් සලසා දීම අමෙරිකානුන්ගේ ආදර්ශමත් අභිප්‍රාය බව ප්‍රකාශ කිරීම විශ්වාසය කඩ කිරීමක් නොවේ.

1947 ජුනි 21 දිනමිණ රටෙහි අධ්‍යාපනය සම්බන්ධයෙන් පළ කළ ලිපියක ඇරඹුමයි.

දේශපාලන ගමන් මගෙහි විවිධ දේ ‘දිනමිණ’ ලිපි ඔස්සේ පළවූයේ මෙලෙසිනි.

“සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ 24 වන සමුළුව“

අපේ අසල්වැසි රාජ්‍යයක් වන පකිස්ථානය අභ්‍යන්තර සටන්වලින් ඇළෙලෙමින්, අවිනිශ්චිත ඉරණමකට මූණ පාගෙන සිටිද්දී මුළු ලොව ම සුපරීක්ෂාකාරීව බැලිය යුතු තවත් ප්‍රබල අන්තර්ජාතික සිද්ධියක් ගිය සතියේ සිදුවුණේය.

තැන මොස්කව් නගරයයි. සිද්ධිය නම් සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ විසිහතර වන මහා සම්මේලන වාරය ඒ නගරයේදී මාර්තු මස තිස් වැනිදා ආරම්භ වීමයි.”

“ලංකා ඩොමිනියන් රාජ්‍යය”

ලෝකයේ ජනතාවන් ස්වකීය වගකීම්වල ඉස්මත්තට ම නැඟෙන බව ඉතිහාසයෙන් අත්දුටු සත්‍යයකි. එබැවින් නිදහස් ලංකාව තුළින් ඒ ඓතිහාසික සත්‍යය නැවතත් දක්නට ලැබෙනු නියතය.

ලංකා විශ්වවිද්‍යාලයේ උපචාන්සලර් ආචාර්ය අයිවර් ජෙනිංග්ස් මහතා විසින් ලියන ලද්දකි.

සංවර්ධනය වන රටක විපක්ෂයෙන් විය යුතු සේවය

1971 මාර්තු 28 එවකට විපක්ෂ නායකව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් දිනමිණ පාඨකයා වෙත ඉදිරිපත්කර ඇත්තේ සාරගර්භ ලිපියකි. එයට අනුව,

“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවේ මෑතක දී බිහි වූ දෙයක් බව අප මුලින් ම සිහි තබාගත යුතුය. 1931 සිට ලංකාවාසී ජනතාව සර්ව ජන ඡන්දයට හිමිකාරයන් වුව ද සර්වජන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය මේ රටේ බිහි වුණේ 1948 සිටය.

එහි තවදුරටත් සටහන් වූ ආකාරයට,

“පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තවදුරටත් තිබිය යුතු ද, නැද්ද යන්න නොව මා ඉදිරිපත් කරන්නේ එය කෙසේ ආරක්ෂා කරගත යුතුද යන්නයි. මේ ක්‍රමය රටේ මුල් බැසගන්නා තෙක් එය ආරක්ෂා කළ යුතුය. එය උදුරා දැමීමට ඉඩක් නොතබා ආරක්ෂා කරගත යුතුය. මෙය කළ හැක්කේ රටේ ජනතාවගෙන් වැඩි කොටසක් ප්‍රජාතන්ත්‍රවාදය තේරුම්ගෙන එහි වටිනාකම් වටහා ගැනීමෙන් පසුවය. වර්තමාන සමාජය ප්‍රජාතන්ත්‍රවාදය වැරදිලෙස අවබෝධ කරගෙන ඇත...” මෙසේ පළ වූ ලිපිය නැවත වරක් පළ වීමේ වරදක් නැති තරම් ය. එසේ වන්නේ නම් එය සමාජ කතිකාවකට යළිත් වරක් අවස්ථාව උදාකර දෙන බව නම් නිසැකය.

1978 “අගමැති ප්‍රේමදාස පොදුජන නායකයා”

“1977 අප්‍රේල් මාසයේදී සිසිර කුමාර මාණික්ක ආරච්චි විසින් ලියා පළකරන ලද “ප්‍රේමදාස” නමැති ග්‍රන්ථයෙන් සකස් කරගත් ලිපියකි මේ.

සුවඳ හමන ලස්සන මලින් පිරුණු මල් පඳුරක් ළඟට යන තැනැත්තා පළමුව අත නමන්නේ කොයි මලට ද? වටිනා මැණික් ගල් පිරුණු බන්දේසියක් ලබන තැනැත්තා මුලින්ම අතට ගන්නේ කොයි මැණික ද?

සුචරිතයත් දැනුමත් මහත් මා ගුණයත් එකසේ පිරුණු ආර්. ප්‍රේමදාස නමැති පුද්ගලයා ගැන කතා කරන විට මුලින්ම කතා කළ යුත්තේ කොයි ගුණය ගැනද ?....”අගමැති පදවියේ ආර්. ප්‍රේමදාස මහතා දිවුරුම් දුන් දිනයේ දී ඔහුගැන ලියවුණු කෘතියක් සම්බන්ධයෙන් දිනමිණ කළ පසුවිපරමකි ඒ.

කලාවට අතදෙමින් ‘දිනමිණ’ පොතපත අගයන අතරම ඉතාම සුවිශේෂී ලිපියක් ද ඒ ගණයට එක් කරගෙන ඇති අවස්ථාවක් අපට හමුවිය. ඒ 1978 පෙබරවාරි 06 වැනි දින ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ලියූ “කලාවේදය හා ජනසමාජය” ලිපියෙහි මෙසේ සඳහන් විණි.

“ශ්‍රී ලංකාවේ සාමකාමී සුසංයත ජන සමාජයක් ගොඩනැංවීමෙහිලා කලාවේදියෙකු සතු වගකීම හා සේවය අන් හැම පරදවා නැගී සිටී. මේ අදහස සනාත කරවනු වස් කරුණු විමසමු. පළමුව කලාවේදීන් යන්නට නිර්වද්‍ය වූ නිර්වචනයක් සැපයීම කළයුතුයි.

එහි තවත් තැනක මෙසේ වේ.

කලාකරුවාද ජන සමාජයෙහි කොටස්කරුවකු බව අප විසින් මෙහිදී අමතක කළ යුතු නෙවෙයි. ඔහුට ද අනෙක් සෑම මිනිසෙකුටම මෙන් ධන ගවේශණය, ආහාර සම්පාදනය, අඹුදරු පෝෂණය, ගෘභස්ත යුතුකම් ඈ දහසකුත් එකක් පැවරී ඇත.”

1978 පෙබරවාරි 04 දින පොදුජන ජනපති සමරුව‘ නමින් අතිරේකයක් ද පළකර ඇත.

1978 - 1981 සඳහා රජයේ සංවර්ධන වැඩසටහන් නමින් පිටුවක් පුරාම පළ වී තිබේ.

“නිදහස් ගමනේ පියසටහන්’ ජේ. ආර්.ජයවර්ධන මහතා ලියූ ලිපියක් මෙසේ ඇරඹිණි.

“ඒ 1938 දෙසැම්බර් මාසයයි. ලංකා ජාතික සංගමයේ පානදුර මහා සම්මේලන වාරය පැවැත්වුණු සමය යි. මා උද්යෝගයෙන් සාමාජිකයෙකු ලෙස ජාතික සංගමයට බැඳුණු අවධියයි. මෙසේ දේශපාලන, සමාජ, සංස්කෘතික, ආර්ථික, ආගමික හා අධ්‍යාපනික වැනි විවිධ අවශ්‍යතා ඉස්මතුවන පරිදි පාඨකයා වෙත තොරතුරු ගෙන ඒමට ‘දිනමිණ’ කටයුතු කර ඇති බව පෙනී යයි.


පත්තර කිරුළ හිමි ඔබ වැඩිමලාය

නිදහස අගය කළ දනහට ඇතිව සෙනේ
ඔබ කළ මෙහෙය එදවස පැහැදිලිව පෙනේ
යුග මෙහෙවරක අසිරිය හදවතට දැනේ
‘පත්තර මහගෙදර’ ඔබගෙනි ජනිත වුණේ

කීවොත් යමක් කීවේ දුර බලාය
කළ යුතු යමක් වෙද එය ඉටු කළාය
රට ගොඩනඟන්නට අද යොමු වෙලාය
පත්තර කිරුළ හිමි ඔබ වැඩිමලාය

පත්තර අතර උත්තම තැන දැරුවෝය
වියතුන් සබා මැද නිති සැරි සැරුවෝය
හැර ගිය පිරිස් පත්තර බිහි කෙරුවෝය
නොමඟක ගියත් උන් හැම ඔබේ දරුවෝය

හතළිස් ගණන්වල නිදහස් සටනේ දී
ඔබ පෙරමුණේ විය විරුවන් හා ඈඳී
තව සටනක් තිබේ වත්මන් යුගයේදී
එහි පෙරමුණ ගන්න දැන් ඇත මඟ පෑදී

හිස මත තබාගෙන ලක් දරුවනගෙ බර
ඔබ ඉපදුණා මින් සිය වසරකට පෙර
කිතුරැස් විහිදුවන හිරුමෙන් නැෙඟනහිර
දිනමිණ ඔබයි හෙළ ජාතික මුහුණුවර

- අමර පී. වීරසිංහ


සියවසක් පිරෙන ‘දිනමිණ’ මෙහෙවරට
තුති බැති කුසුම් පුදනෙමි මම මේ ලෙසට

සියබස දෙසට මෙහෙයක්කළ අපිරිමිත
සියවසක් පිරෙන ‘දිනමිණ’ පුවත්පත
ගිය කලැ සිට සිදු කළ සේවාවට ම සිත
නියතින් නැමෙයි එය දිනි දුහුනනට අත

රත්මලානේ දම්රම් සමිඳුන් පසිඳු
‘දිනමිණ’ යන නම දුන්නෙත් සිතිනි ඉඳු
එදා සිට මැ එහි බැස්මක් නොවී සිදු
පැතිරෙයි තව මැ ලබමින් තුති කුසුම් කඳු

ඩී. ආර්. විජේවර්ධන මැති විත් පෙරට
වැය කැර සිය දනය අත දෙන්නට දැයට
‘ලේක්හවුසි’යැයි යන නමකුත් යසට
දීමෙන් පතළ වියැ පත් ගණනක් දිගට

විද්වත් කතුවරුන් සේවය පිණිස ගෙන
පාඨක සිත් බඳින් ලෙස තොරතුරු කියන
‘දිනමිණ’ නම් පුවත්පත වැඩි කල් නොපැන
රට තොට පතළවිණි වස් සියයක් ගෙවෙන
දෙස්පාලන වාද සිත් කරවන ඔකඳ
පලවිණි ‘දිනමිණේ’ හරබර බසින් බැඳ
බස රැස දෙසට වැඩ කරු නොයෙක් කරුණු ද
මෙ පතින් පතළවිණි එක්පසකට නොඇද

තාක්ෂණ දියුණුවෙන් නෙත් බඳින පිටු
පළවිණි එය බලා ජනයා වෙමින් තුටු
‘දිනමිණ’ මිල දී ගෙන හැඟුමෙන් නොපටු
කියවන්නට වීයැ අයුරින් පෙරැ නුදුටු

තවත් පුවත්පත් බිහිවිණි වරින් වර
එහෙත් නොපැවැතිණි ඒවා බොහෝ දුර
දෙස්පාලන පුවත්පත් පළවූවත් තිර
පැවැත්මක් නොවිණි ‘දිනමිණ’ වියැ පතර

කලාවනට වෙන්වූ යස ලිපි ද ඇත
කවි පිටුවක් ද පළවෙයි ඇති අනඟි මත
කතුනට ළමයිනට වෙන්වූ පිටු මෙ පත
පළ කරනුයේ සනසන්නයි ඔවුන් සිත

- හෙළ බස් මිණි අනඳපිය කුඩාතිහි


ගුරු තරුව

බැස යන ඉක්මනින් නොපෙනෙන
කිසිදා බැස නොයා පායන
ගුරු තරුවක්ය
දිනමිණ

ජගත් රණතුංග


ජයවේ

දිනමිණ දිනමිණ සිරිලක දිනමිණ
දින දින දියුණුව යේවා යෙහෙකින
දන මන සනසා නැණ එළි බෙදමින
දහසක් වස් සපුරා වා නියතින

ආචාර්ය අමරසිරි පොන්නම්පෙරුම

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්