දිනේ දිනමිණ

දේශපාලනය සහ දිනමිණ

‘දිනමිණ’ පුවත්පතේ ආරම්භය සිදුවූයේ ලංකාවේ නිදහස් සටන කුළුගැන්වෙන වකවානුවකයි. ඊට පෙර පැවැති පුවත්පත් බොහෝවිට අයිතිව තිබුණේ බ්‍රිතාන්‍ය හෝ බර්ගර් ජාතිකයන්ට ය.

එම කණ්ඩායම් දෙකම බොහෝ දුරට පුවත්පත යොදාගත්තේ පැවැති යටත් විජිත පාලන ක්‍රමය විවේචනය කිරීම පිණිස ය. එම විවේචනය මතුකෙරුණේ ජාතිකත්වය දෙසින් නොව මෙරට යටත් විජිත ක්‍රමය ක්‍රියාත්මක කරන පුද්ගලික අංශයට ලබාදෙන සහන ප්‍රමාණවත් නොවන බවට වූ තර්කය මත පිහිටමිනි.

ක්‍රිස්තියානි පාසල්වලට ලබාදෙන සහන ප්‍රමාණවත් නොවන බව කියමින් ආණ්ඩුකාරවරයා විවේචනය කිරීම, වතුකරයට මාර්ග සහ දුම්රිය අවශ්‍යතා ඇතැයි පෙන්වාදීම බදු අඩුකරන ලෙස ඉල්ලීම වැනි කාරණා මත ඔවුහු බොහෝවිට පිහිටා සිටියහ. දැවැන්තයකු විලසින් ඩී. ආර්. විජේවර්ධන පුවත්පත් අයිතියට හිමිකම් කියන්නකු වූයේ මේ පසුබිම තුළය.

මේහා සමගාමීව ඉන්දියාව වැනි රටවලත් පුවත්පත් රදළයන් press barrons  පිරිසක් ඇතිවනු දැකිය හැකිවිණි. නමුත් හැකිතාක් දුරට ඒවා පවුල් ව්‍යාපාර විය.

ආචාර්ය සරත් අමුණුගම
ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

මහජනයාට කොටස් විකුණන ස්වභාවයක්ද නොවිණි. අවදානම් සහිත ආයෝජනයක් සිදුකර තමාගේ පවුලේ ධනය වැඩිකර ගැනීම ඔවුන්ගේ අපේක්‍ෂාවිය.

සුදු පැළැන්තිය මෙලෙස පුවත්පත් ඇරැඹෙනු දකින්නට කැමැති නොවීය. අප අසා ඇති පරිදි ලේක්හවුස් ආයතනය ගොඩනැඟීම සඳහා ඩී. ආර්. විජේවර්ධනට ණය ලබාදීම පවා බැංකු ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුට සිදුවූයේ වැඩි පොළියට හෙට්ටින්ගෙන් මුදල් ලබාගැනීමටයි.

එම යුගයේ පුවත්පත් බොහෝවිට සෘජුවම දේශපාලනයට සම්බන්ධ විය. ඊට මූලික හේතුව එම පුවත්පත් ඇරැඹෙන්නේ ම නිදහස් සටනේ නියමුවන්ට අනුබලයක් වශයෙන් වීමයි.

ඉන්දියාවේ නේරු පවුල අලහබාද්හි පුවත්පතක් ප්‍රකාශයට පත්කෙළේය. එහි තිබූ පුවත්පත්වල හිමිකාරිත්වයත් සමඟ සබඳතාවක් ගොඩ නඟා නොගත්තේ නම් මහා බෝධි සමාගමට හෝ අනගාරික ධර්මපාල තුමාට මෙතරම් පිළිගැනීමක් ලබාගැනීමට කිසිදා නොහැකිය.

බෞද්ධ පුනර්ජීවනයක් ඇතිකිරීම වෙනුවෙන් මුලින්ම ධර්මපාල තුමාට උපකාරී වූයේ ලාංකිකයන් නොවන බව අප මතකයේ තබාගත යුතු කාරණයකි. එතුමාට බෙහෙවින් උදව් කරන ලද්දේ ඉන්දියාවේ, බංගලිදේශයේ සිටි පුද්ගලික පුවත්පත් අයිතිකරුවන් විසිනි.

මේ පුවත්පත් බිහිවුණේ එක් අතකින් නිදහස් සටනේ දේශීයත්වය පිළිබිඹු කරමිනි. අනෙක් පැත්තෙන් එම දේශීයත්වය බොහෝවිට ස්ථාපිත වූයේ යටත් විජිත රාමුවේ සංකල්ප තුළම ය. යටත් විජිතවාදයේ දෙවන තුන්වන පියවර පිළිබඳ විමසනවිට බටහිරින් ගෙනා අදහස් කැපී පෙනේ. ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය වැනි අදහස් මෙරට උපන් සංකල්ප නොවේ.

සෑම රටකම සිටින බටහිර අධ්‍යාපනය ලබා තම රටට පැමිණි තරුණ පිරිස් එම අදහස් ප්‍රචලිත කරන්නට මුල්විය. තවත් අය බටහිර අධ්‍යාපන ක්‍රමය තුළින් ජාතිකවාදය පිළිබඳ ඒ ඒ රටවල අනන්‍යතාව පිළිබඳ හැදෑරී ය.

මේ තත්ත්වය විශේෂයෙන් ක්‍රිස්තියානි පාසල්වලින් ඇරැඹී පරම විඥානාර්ථ සමිතිය හරහා ආනන්ද - නාලන්ද ආදී පාසල් කරා ද ව්‍යාප්ත විය. නමුත්, ඒවායේ පාඨමාලා බටහිර පාඨමාලා සමඟ සම්බන්ධය. මුල් ගුරුවරු සුදු ජාතිකයන් හෝ මලලසේකර මහතා, කුලරත්න මහතා වැනි බටහිරින් උගත් ලාංකිකයන්ය.

ඒ අනුව, ‘දිනමිණ’ පුවත්පත ආරම්භවූයේ ද “ජාතික සටනට’ විජේවර්ධන දර්ශනය හා මුසුවීමෙනි. එබැවින් මුල් යුගයේ සේනානායක පවුල ඉදිරියට ගැනීමට ලේක්හවුස් පුවත්පත් විශාල සේවයක් කළ බව කිව හැකිය. ලේක්හවුස් ආයතනයේ සේවය කළ අය පසුකාලීනව ලියූ කෘතීන් හි මේ කාරණය පැහැදිළි කර තිබේ.

අගමැති ඩී. එස්. සේනානායක මහතාත්, ජේ. ආර්. ජයවර්ධන මහතාත් ලේක්හවුස් පුවත්පත් ප්‍රධාන දේශපාලන ලියුම්කරු සමඟ පාර්ලිමේන්තුවේදී සතිපතා කෑම ගැනීම ද සිදුවිය. එමඟින් එම අදහස් ලේක්හවුසියට පහසුවෙන්ම කාන්දුවිණි. මා නිතර කියන පරිදි එම කාලයේ ලංකාව පාලනය කරන ප්‍රධාන ආයතන හතරක් තිබිණි.
 

i රජ ගෙදර

ii පාර්ලිමේන්තුව

iii ලේක්හවුස් ආයතනය

iv ප්‍රධාන ලේකම් කාර්යාලය

මේවා පැවැතියේ ද එකිනෙකට ආසන්නව මුහුණලා ය. පාලනය සිදුවූයේ මේ චතුරඝ්‍රයෙනි. එනම් සෙසු ආයතන තරම් ම ලේක්හවුසියද ප්‍රබල ය. ඒ ප්‍රබල බව ඇතිවූයේ ද ඉහළම මට්ටමිනි.

ලේක්හවුසියේ දේශපාලන ගමන එයාකාරයෙන් ඇරැඹුණ ද කල්යාමේදී ‘දිනමිණ’ පුවත්පත බොහෝ දුරට එජාප දේශපාලනයත් සමඟ සම්බන්ධ විය. නමුත්, එජාපයේ යම් යම් පිළිවෙත් විවේචනයට ලක්කිරීමට ද එය පසුබට නොවිණි.

බොහෝ දුරට බණ්ඩාරනායක මහතා එක් පැත්තකින් සහ සේනානායක මහතා කොතලාවල මහතා වැනි අය අතරත් පැවැති මත ගැටුම්වලදී ‘දිනමිණ’ නිරන්තරයෙන් සේනානායක මහතාගේ පාර්ශවයේ සිටියේය. ‘සිංහල මහ සභාවට අවශ්‍ය ප්‍රචාරය ලබාදුන්නේ ම නැත.

එහෙත්, ඇත්ත කාරණය නම් එජාපය නිර්මාණය කිරීමට ද මුල්වූයේ සිංහල මහ සභාව බවයි. ඩඩ්ලි, සර් ජෝන් හේවාවිතාරණ, කන්නන්ගර ආදී කවුරුත් සිටියේ සිංහල මහා සභාව තුළය. එහි සභාපතිත්වය දැරුවේ බණ්ඩාරනායක මහතා යි.

1947 දී බණ්ඩාරනායක මහතාට අවශ්‍ය විණි නම් අගමැතිවීමට ඉඩ තිබූ නමුත් ‘දිනමිණ’ පුවත්පත ඉතාමත් දැඩි ලෙස සේනානායක ආධිපත්‍ය පැතිරවීමට උපකාරී විය. සමහර විට එහිදී එය තීරණාත්මක සාධකය වන්නටත් ඇත.

සිංහල මහා සභාව අවතක්සේරුකිරීම සහ එජාපය හුවාදැක්වීම සිදුකරන ලදී. එමඟින් අගමැති පදවිය සඳහා සේනානායක මහතාගේ හිමිකම තහවුරු කෙරිණි.

නිදහසට පසු, 1956 පමණ වනතුරු ‘දිනමිණ’ සහ රජය යෙදුණේ සමගාමී ගමනකය. රජයේ අදහස් උදහස් මහජනයා වෙත රැගෙන යාම ‘දිනමිණේ’ කාර්යභාරය විණි. ‘දිනමිණ’ කතුවරයා පවා තෝරාගන්නා ලද්දේ බෙහෙවින් උපායශීලීව ය.

ඔහු නිරන්තරයෙන් රජය සමඟ හොඳින් ගනු – දෙනු කළ හැකි අයෙකු විය යුතු විනි. අද මෙන් නොව එදා රජයේ ප්‍රබලයන් මාධ්‍ය සමඟ ගනු - දෙනු කෙළේ පුවත්පත් කතුවරුන් සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යකරුවන් සමඟ පමණි. විය යුතු පරිදිම, පුවත්පතක ප්‍රධාන චරිතය කතුවරයාය. නමුත්, සාමාන්‍යයෙන් අපේ රටේ ලේක්හවුසියේ එවැනි තත්ත්වයක් නැත.

එසේ වුවද, කතුවරයාගේ ආධිපත්‍ය පුවත්පත් කලාවේ ප්‍රධාන සාධකයකි. පුවත්පත අලෙවි නොවන්නේ නම් අයිතිකරුවාට කතුවරයා ඉවත්කිරීමේ අයිතිය ඇත.

නමුත්, පුවත්පත් සම්ප්‍රදාය අනුව පුවත්පතක අභ්‍යන්තර කටයුතුවලට , අන්තර්ගතයට ඇඟිලි ගැසීමේ බලයක් අයිතිකරුවාට නැත. එසේ නොවුණහොත් එය පුවත්පතක් නොවී හුදු දේශපාලන ලේඛණයක් බවට පත්වේ.

එබැවින් නැවේ කප්පිත්තා වන පුවත්පතේ ප්‍රධාන කතුවරයාට එහි ගමන්මඟ තීරණය කිරීමේ අයිතිය තිබිය යුතු වෙයි. නිදහසින් පසු ක්‍රමයෙන් දේශපාලනීකරණය වැඩිවීමත් සමඟ එම සම්ප්‍රදායික මොඩලයට විශාල ප්‍රහාරයක් එල්ලවනු දැකිය හැකිවිණි. එක් පැත්තකින් අයිතිකරුවාගේ බලපෑම් ඇතිවනවිට අනෙක් පැත්තෙන් දේශපාලන බලපෑම්ය.

56 ‘ වන විට ඉතා පැහැදිළිව එජාප විරෝධී කඳවුරේ ප්‍රධාන සතුරකු ලෙස ලේක්හවුසිය හඳුනාගෙන තිබිණි. ලේක්හවුසිය සෑම අතින්ම එජාප විරෝධී කොටස්වලට පහරගැසීම සිදු කෙළේය.

විශේෂයෙන් මාක්ස්වාදී කොටස් ලේක්හවුස් විරෝධී ව්‍යාපාරයක නියැලිණ. මෙහිදී දේශපාලනය ගැන කතාකරනවිට ඉතා වැදගත් ප්‍රවාහ 2 ක් අප හඳුනාගත යුතුය.

එකක්, ශ්‍රී ලනිප සමාජ ප්‍රජාතන්ත්‍රවාදී එළැඹුමයි. අනෙක සමසමාජ - කොමියුනිස්ට් මාක්ස්වාදී එළැඹුමයි. මාක්ස්වාදීන් කල්පනා කරන්නේ පුවත්පත අනිවාර්යයෙන් රජයේ මෙවලමක් විය යුතු බවයි.

හොඳම නිදසුන සෝවියට් දේශය, කියුබාව වැනි රටවල තනිකර රජයේ හඬ බවට ඒවා පත්ව තිබීමය. හොඳ නරක කෙසේවුවද එය වෙනමම සම්ප්‍රදායකි.

අද මේ ක්‍රමය මුළුමනින් බැහැර කර ඇති බව පෙනේ. පැරැණි මාක්ස්වාදී සම්ප්‍රදාය තුළ සිටි රටවල් ගැටුම් තුළ වුව නව මාධ්‍ය ප්‍රතිපත්තියකට හැඩ ගැසෙමින් පවතී. තරුණ මාක්ස්වාදී බුද්ධිමතුන් පෙරට එමින් ඇත. ට්‍රාට්ස්කි බලයේ සිටියදී දැඩි මාධ්‍ය පාලනයක් ගෙන ගියද බලය අහිමි වූ කල්හි වාම විරුද්ධවාදියෙකු මෙන් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගැන කතාකරන්නට විය.

එහෙත් බලය ඇතිවිට ට්‍රොට්ස්කි ද ස්ටාලින් මෙන් ම ඒකාධිපතිවාදියෙක් වූයේ ය. 56 න් පසු මාක්ස්වාදී කොටස් ලේක්හවුසිය රජය සතු කරගතයුතු යැයි දැඩිව කියා සිටි නමුත්, බණ්ඩාරනායක මහතා සිටියේ ඊට වෙනස් මතයේ ය.

ඔහු ජීවතුන් අතර සිටින තාක් පුවත්පත් ජනසතුවට කිසිදා ඉඩ දුන්නේ නැත. නව රජයට එරෙහි දැඩි ප්‍රහාරාත්මක පිළිවෙතක ලේක්හවුසිය පිහිටා සිටි නමුත් බණ්ඩාරනායක මහතා එය ඉවසන ලද බව පෙනේ.

ඔහුට අවශ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රබල කර මේ දෙක අතර ගනු දෙනුවක් ඔස්සේ ලේක්හවුසියේ ස්වාධීනතාව ද තිබියදී ම රජයේ අවශ්‍යතාවන් ද ඉටුකරවා ගැනීමටයි.

ඊට සරිලන පරිදි එතුමාගේ විශ්වාසනීය පුවත්පත් කලාවේදියා වූ ලයනල් ප්‍රනාන්දු මහතා ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ලෙස පත්කෙරිණ. එවක දේශපාලනඥයන් මාධ්‍යට සෘජුව ඇඟිලි ගැසීම් නොකළේය. ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ හරහා තම අවශ්‍යතා ඉටු කරවා ගත්තේ ය.

මා ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂව සිටි කාලයේ පවා දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර සෘජු සමීප සබඳතා ඇතිවූයේ ඉතා කලාතුරකිනි. නමුත්, එජාපය තුළ හිඳීමින් මේ සම්ප්‍රදාය වෙනස් කළේ ප්‍රේමදාස මහතා විසිනි.

එජාප දැඩි නායකත්වය ඇතුළතින් බිඳලිය හැක්කේ සිංහල මාධ්‍යවේදීන් සමඟ පුද්ගලික දැන හැඳුනුම්කම් ගොඩනඟාගැනීමෙන් බව ඔහු දුටුවේය. එමනිසා ඔහු ඉතාමත් උපක්‍රමශීලීව කි‍්‍රයාත්මක විණි.

ඊට එක් විශේෂ හේතුවක් නම් ඔහු ජීවත්වූයේ සාංචි ආරච්චිවත්තේ වීමයි. ගුණසේන ‘දවස’ පුවත්පත ඇරැඹුණේ ද එහිමය. ගුණසේන හි ඩබ්. ජේ. ප්‍රනාන්දු , ප්‍රේමදාස මහතාගේ සමීප හිතවතෙක් ද විය.

ඔවුහු නිතර මුණ ගැසුණහ. මේ පසුබිම තුළ ‘දවස’ ශ්‍රීලනිපයට සහාය දක්වන අතර එජාපය තුළ ප්‍රේමදාස මහතාට විශාල සහායක් ලබාදුන්නේ ය.

මේ අනුව පුවත්පත් සහ රජය ස්වාධීනව සිටීමේ න්‍යාය වෙනස් කෙළේ ප්‍රේමදාස බව අපට කිව හැකිය. ඩඩ්ලි සේනානායක මහතා විසින් ප්‍රේමදාස මහතා ප්‍රවෘත්ති උප ඇමැති ලෙස පත්කිරීමද දෛවය ඔහුට ඒ සඳහා ලබාදුන් අවස්ථාවකි. ප්‍රේමදාස විසින් අරඹන ලද මෙම සම්ප්‍රදාය එතැන් සිට මේ දක්වාම ඉදිරියට යමින් ඇත.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දෙවන වර අගමැතිනිය වන විට වාමාංශිකයන් ගෙන් එල්ල වූ දැඩි බලපෑම් ඔස්සේ ලේක්හවුසිය රාජ්‍යසන්තක කෙරිණි. තම ආණ්ඩුව බිඳහෙළීම සඳහා ලේක්හවුසිය දැඩි වෙහෙසක් ගත් බව මැතිනිය දැන සිටියාය.

එඩ්මන්ඩ් වික්‍රමසිංහ මහතා යටතේ මන්ත්‍රීන් බිලිබා ගැනීම වැනි නව අංග දේශපාලනයට එකතු කරමින් මැතිනියගේ ආණ්ඩුව බිඳ දැමීමට මුල්වූයේ ලේක්හවුසියයි.

එම තත්ත්වය මැතිනිය වාමාංශිකයන් ගේ ඉල්ලීමට සවන්දීමේ ප්‍රබල සාධකයක් වූ බව සැළකිය හැකිය. මේ සමඟ දිනමිණේ දේශපාලන වෙනසක්ද ඇතිවිය. කළින් එජාපයට සහාය දුන් එය එතැන් සිට රජයට සහාය දෙන තැනට පත්විය.

පසුකාලීනව මෙරටද වෙනත් මාධ්‍ය රාශියක් ව්‍යාප්ත වීම සිදුවුයේය. ගුවන්විදුලි - රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක්ද නොයෙක් වර්ගයේ පුවත්පත් රැසක් ද තිබේ. මේ නිසා තම අදහස් ද ඉදිරිපත් කිරීමට මාධ්‍යයක් අවශ්‍ය බව රජයේ තර්කයයි. මෙහිදී සිතන්නට සිදුවන්නේ රජයේ අවශ්‍යතාව සපුරාලන අතරම පුවත්පතේ ස්වාධීනතාව පවත්වා ගන්නේ කෙසේද යන කාරණයයි.

’දිනමිණ’ ද මේ දෙක අතර දෝලනය වෙයි. මෙහිදී අවධාරණය කළ යුතු කාරණයක් නම් මැතිනිය සහ එවක රජය ලේක්හවුසිය ජනසතු කළ අවස්ථාවේ එම පනතේ සඳහන් වූයේ යම් අවස්ථාවක මෙහි කොටස් ප්‍රමාණයක් මුදාහළ යුතු බවයි.

වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල පුද්ගලික කොටස් හිමියන් ආදී වශයෙන් ඉතා පළල් අයිතිවාසිකමක් සහිත පොදු සමාගමක් තුළින් මෙහි ස්වාධීනත්වය රැකගතයුතු බව එහිදී කල්පනා කෙරිණි.

එනම්. මෙය තනිකර රජයේ හොරණෑව විය යුතු යැයි ඔවුන් කල්පනා කෙළේනැත. හොරණෑ සංකල්පය පසුව ඇතිවූ එකකි.

නමුත්, කිසිවකු විසින්වත් එවැන්නක් නොකරන ලදී. ධනවාදයේ මහනායක ලෙස හැඳින්වූ ජේ. ආර්. ජයවර්ධන 77’ දක්වාම ලේක්හවුසිය රජය සතුවීම පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කළ ද ඔහු බලයට පත්වූ පසුවත් එහි සංයුතියේ වෙනසක් නොකළේය.

රජයේ අදහස රැගෙනයාමට වාහනයක් අවශ්‍ය බව ඔහු තේරුම්ගත්තේය. ඒ අනුව දිගින් දිගටම රජය වෙනස් වූ නමුත් ලේක්හවුසියේ මුල් සංයුතිය එලෙසම පැවතිණි.

කිනම් නීති රීති ගෙන ආවද ලේක්හවුස් පුවත්පත් මඟින් රජයේ අදහස්වලට ප්‍රමුඛත්වය දිය යුතු යැයි දැන් හැම පැත්තක්ම පිළිගනිති.

එහෙත්, මෙහි නෛතික තත්ත්වය පිළිබඳ හරියාකාර සොයා බැලීමක් සිදුව නැති නිසා යම් ගැටලුවක්ද මතුවෙයි. එනම්, ලේක්හවුසිය රජයට පවරාගන්නා මොහොතේ එම පනතේ සඳහන් වගන්ති සහ පසුකාලීනව ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ දේවල් අතර බොහෝ පරස්පරතාවන් පවතී.

අද ලෝකයේ මාධ්‍ය අයිතිය පිළිබඳ අදහස වෙනස්වී තිබීම අනෙක් කාරණයයි. රුසියාව – කියුබාව වැනි රටවල් පවා මාධ්‍ය මත දැඩි පාලනය අනවශ්‍ය බව අද පිළිගනී.

තනි මාධ්‍ය අධිකාරයක් පවත්වාගත නොහැකිවීම ඊට බලපා ඇත. අපට අදාළව ලේක්හවුසිය එක් දෙයක් කියන විට එහි විරුද්ධ පැත්ත කියන්නට තවත් අය සිටී.

Browdcasting යනුවෙන් හැඳින්වෙන සැමට විකාශනය කිරීම පිළිබඳ අදහස තවත් දශකයක් යනවිට වෙනස්වනු ඇත. පුවත්පත්, ගුවන්විදුලිය හෝ රූපවාහිනිය එතරම් නොවැදගත් වී සෘජුව පුද්ගලයාට අමතන සන්නිවේදන ක්‍රම ඉදිරියට එමින් තිබේ.

දැනටමත් ජංගම දුරකථනය එම බොහෝ අවශ්‍යතා සපුරාලයි. මේ සමඟ ලංකාවේ තවත් ස්වරූප කිහිපයක් දැකිය හැකිය. එනම්, ජන සංයුතිය අනුව තරුණ ජනගහනය ඉතා විශාලය. විශේෂයෙන් තරුණ පරපුර අතර ජංගම දුරකථන භාවිතය ශීස්‍ර ලෙස ඉහළ යමින් ඇත.

මෙයාකාරයෙන් ජංගම දුරකථන ව්‍යාප්තිය සිදුවන්නේ ලොව රටවල් කිහිපයක පමණි. තවත් වසර 05 ක් ගතවනවිට 75% ක් පමණ ජංගම දුරකථන භාවිත කරනු ඇත.මේ සමඟ විශාල මාධ්‍ය විප්ලවයක් ඇතිවනු ඇතැයි සිතිය හැකිය.

 තවදුරටත් පුවත්පත තමන් කරා ළඟාවන තෙක් සිටීමට පාඨකයාට සිදුනොවනු ඇත. ඔහු ක්‍ෂණිකව පුවත් දැනගැනීමට ජංගම දුරකථනය භාවිත කරයි. එනම් ක්‍ෂණිකව පුවත් ලබාදීම පිළිබඳ මාධ්‍යයට අභියෝගයක් ඇත.

‘දිනමිණ’ වැනි රජයට සම්බන්ධ පුවත්පතකට එය අනාගතයේ විශාල අභියෝගයකි. රාජ්‍ය පාලනය නිසා, පුවත් ක්‍ෂණිකව රැගෙන යාමට අසීරුවීම මෙන් ම එහි මාධ්‍යකරුවන් උණුසුම් පුවත් ලබාදීමට පසුබට වීමද ඊට හේතුවකි. මාධ්‍ය යනු සාහිත්‍ය නිර්මාණයක් නොව උණුසුම් පුවත් ලබාදීමේ මෙවලමකි.

පුවත වාර්තා කිරීම සඳහා සත්වන එඩ්වඩ් රජු මැරෙන තෙක් බලාසිටීමටවත් නොහැකි වූ කතාවක් රොයිටර් ගැන අප අසා ඇත. මරණයට පැය කිහිපයක් තිබියදීම පුවත් වහා ලබාදීමේ තරඟය නිසා ඔහු මරණයට පත්කරන ලදැයි ද පසුකාලීනව මත පළවී තිබේ.


සබැඳි පුවත්