ජනමතයට අනුගතවූ

ජනමතයට අනුගතවූ

සර සියයක් තුළ ‘දිනමිණ’ පුවත්පත දේශපාලනික සහ වෘත්තීය සමිති අරගල පැත්තෙන් කුමන ස්ථාවරයක සිටියද සමස්තයක් වශයෙන් ගත්කළ මෙරට භාෂා, ආගමික , ජාතික හා ආගමික වෙනස්කම් සඳහා ‘දිනමිණ’ ඉටුකළ සේවය අපරිමිතය.

19වන සියවස අග භාගය යනු ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී වකවානුවකි. මෙහිදී විශේෂයෙන්ම 1980 දශකයේදී හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි හිමිවරුන්ගේද, හෙන්රිස්ටීල් ඕල්කට්, අනගාරික ධර්මපාල තුමා වැනි පිරිසකගේද බලපෑම මත ජාතික ව්‍යාපාරය නව ඉසව්වකට යොමු වෙමින් පැවැති යුගයක් ලෙස පෙන්වා දිය හැකිය.

සිංහල ජාතික ආගමික සිරිත් විරිත් ඇතුළු සංස්කෘතික උරුමයන් මෙන්ම සෙසු ජාතීන්ගේද සියලු උරුමයන්ද පුනර්ජීවනයක් අපේක්ෂා කළ වකවානුවකි.

මෙලෙස ගිහි පැවිදි සහ නොයෙක් පිරිස් ඇසුරේ වැඩෙමින් පැවැති ජාතික ව්‍යාපාරය කෙරේ පරමවිඥානාර්ථ සමාගම සුවිශාල කාර්ය භාරයක් ඉටු කෙළේ ය. මෙසේ මතු වෙමින් පැවැති බලවේගය ජාතික තලයේ මෙන්ම ප්‍රාදේශීය වශයෙන්ද වර්ධනය වන බව කිව හැකි ය.

මෙසේ මහනුවර ප්‍රදෙශයේ පරම විඥානාර්ථ සමාගම ගෙනගිය ජාතික,ආගමික, පුනර්ජීවන ව්‍යාපාරයේ සාමාජිකයකු ලෙස අපට එච්.එස්.පෙරේරා මහතා හඳුනා ගත හැකිය.

ජාතික ව්‍යාපාරය කෙරෙහි ලබාදෙන සක්‍රීය දායකත්වය නිසාම ‘සරසවි සඳරැසේ’ කළමනාකාර ධූරය බාර ගැනීමට ඔහුට පරමවිඥානාර්ථ සමාගම විසින් ආරාධනා කරනු ලැබීය. මේ ආරාධනයේදී වැටුප පිළිබඳ විමසීමේදී එච්.එස්.පෙරේරා මහතා ප්‍රකාශ කරනුයේ.

‘මට කොළඹ දී වේලක් හැර වේලක් කන්න දීමනාවකුත් බූරු ඇඳක් එලා ගන්න පුළුවන් තරමේ කාමරයකට කුලියකුත් ලැබුනාම ඇතියි”

මෙයින් අපට එච්.එස්.පෙරේරා යනු උන්නතිකාමී ලෙස පුවත්පත් කලාවට ආදරය කළ අයකු බව ප්‍රකාශ කළ හැකි ය. පසුකාලීනව සරසවි සදරැසේ ඇතිවන ගැටුමක් නිසා ඉවත්වන හෙතෙම ඉන්පසු නව පුවත්පතක් ආරම්භ කිරීමට පෙළඹේ.

මේ වනවිට ලංකාවේ දකුණු ප්‍රදේශයේ ආරම්භව තිබූ ජාතික ව්‍යාපාරය කොළඹ කේන්ද්‍රීයට වඩාත් ශක්තිමත් වී තිබුණි. ඒ අනුව පිරිවෙන් වඩාත් ක්‍රියාශීලීව මේ ව්‍යාපාරය තුළ විණි.

එච්.එස්.පෙරේරා සිය නවමු අදහස යොමු කරනුයේ විද්‍යාලංකාර , පරිවේණාධිපති, රත්මලානේ ධර්මාරාම හිමියන්ටය. රත්මලාන ධර්මාරාම හිමි යනු මෙරට සිටි අද්විතීය පඬිරුවණකි. ජානකීහරණය සන්නස පදනම් කරගෙන මුල් කෘතිය ලිවීම උන්වහන්සේගේ පාණ්ඩිත්‍යත්වය පිළිඹිබු කරයි.

එමෙන්ම නක්ෂත්‍රය පිළිබඳ ද මනා පරිචයකින් හෙබි මේ පඬිරුවන. “සඳරැසට මුහුණ දෙන්න පුළුවන් හිරුට පමණයි. හිරුට කියන්නේ ‘දිනමිණ කියලයි’ යනුවෙන් ප්‍රකාශ කළහ.

මෙලෙස ‘දිනමිණ’ යන අකුරු හතර ‘දිනමිණ’ ට ලබා දෙනුයේ රත්මලානේ ධර්මාරාම ස්වාමීන් වහන්සේ ය. පුවත්පත ආරම්භ කර පළමු කතුවැකියෙන්ම එච්.එස්.පෙරේරා මහතා ස්වකීය අරමුණ ජාතික, ආගමික සටනට දායක වීම බව මනා ලෙස පහදා දෙයි. මෙසේ කර්තෘ මූලික , ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පතක් ලෙස 1909 - 12 - 17 දින ආරම්භ වන ‘දිනමිණ’ පුවත්පත දිගු කලක් පවත්වාගෙන යාමට එච්.එස්.පෙරේරා මහතාට අවස්ථාව නොලැබුණි.

ඒ ඔහු දැඩි ලෙස රෝගාතුර වීම නිසා ය. පසුව ජාතික ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයකු වූ ආර්.ඩී.බී.ජයතිලක මහතාගේ මැදිහත් වීමෙන් ඩී.ආර්.විජයවර්ධන මහතා මේ පුවත්පත මිලට ගනී. ඩී.ආර්.විජයවර්ධන මහතා ‘දිනමිණ’ පුවත්පත මිලදී ගත් පසුව ‘දිනමිණ’ රටේ ජාතික ජනමතය පෙන්නුම් කළ පුවත්පත බවට පත්වේ.

විශේෂයෙන්ම එච්.එස්.පෙරේරා සූරීන් විසින් ‘දිනමිණ’ ආරම්භ කරනු ලැබුයේ ජාතික , සංස්කෘතික , ආගමික අරගලය පදනම් කරගෙන එය ශක්තිමත් කිරීමටය. නමුත් විජේවර්ධනයන් මෙරට උගත් තරුණයන්, ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය සඳහා යොමු කිරීමට යොමුවේ. මෙහිදී හලාවත වැවිලි සංගමය, පහතරට වැවිලි සංගමය දේශීය ව්‍යාපාරික ප්‍රජාව වැනි කණ්ඩායම් සාමාජිකයන්ගේ මහ වේදිකාව බවට ‘දිනමිණ’ පත් වේ’ මෙයින් පෙනී යනුයේ ‘දිනමිණ’ සිය දෙවැනි යුගය හෙවත් ඩී.ආර්.විජයවර්ධන මහතාගේ යුගයේදී ප්‍රතිසංස්කරණවාදී මතවාදය නියෝජනය කළ බව ය. මේ සඳහා අවශ්‍ය පරිසරය දේශීයව මෙන්ම විදේශීයවද උදා වී පැවැතිණි. විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපයේ ස්වරාජ්‍ය පිළිබඳ සංකල්පය පැතිරී තිබුණි. එමෙන්ම සෝවියට් දේශයේ විප්ලවීය බලපෑම් ඇතිවෙමින් තිබුණි. මේ අන්තර් ජාතික බලපෑම් හි ජනමතය ලාංකීය සමාජයට ප්‍රවේශ කළේ ‘දිනමිණ’ පුවත්පත මඟිනි.

1920,30 දශක වනවිට මෙරට ජනමතය තුළ ප්‍රධාන කොටස් කිහිපයක් ඉස්මතුව තිබුණි. එක් කොටසක භික්ෂූන් වහන්සේ සහ දේශප්‍රේමීන් විය.

ඒ සමඟම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිණිස විශාල ආලෝකයක් ද තිබුණි. ඊට අමතරව ‘සූරිය මල් ව්‍යාපාරය’ දැකිය හැකි අතර ‘දිනමිණ’ එම ව්‍යාපෘතියට සහයෝගයක් ලබා නොදෙන බව කිව හැකි ය.

මේ අනුව ‘දිනමිණ’ කොන්සර්වේටිව් වාදී පුවත්පතක් ලෙස ක්‍රියා කරන බව පෙනේ. නමුත් ‘ දිනමිණ’ රටෙහි ප්‍රභූ ජනයාගේ තොරතුරු ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රය බවට පත්වීමට හැකියාව ලැබේ.

එම තත්ත්වය කෙරෙහි බලපෑවේ ‘දිනමිණ’ ට එක්ව සිටි ප්‍රබල පඬිවරුන් ය. බී.ඩබ්ලිව්.වික්‍රමාරච්චි, ඇලෙක්සැන්ඩර් වැලිවිට,, මාර්ටින් වික්‍රමසිංහ, ධර්මපාල වෙත්තසිංහ, සී.ඒ.විජේසේකර,, අයි.ඇම්.ආර්.ඒ.ඊරියගොල්ල, පී.බී.සේනානායක මේ අතරින් කිහිප දෙනෙකි.

මෙවැනි පඬිවරුන්ගෙන් ලැබුණු ශක්තිය නිසාවෙන් ‘දිනමිණ’ අප රටේ සමාජ විඥානයට මුල් බසින ලදී. 1950, 60 දශකයන් සලකා බලන විට රටෙහි ඇතිවුණු සමාජ ප්‍රතිසංස්කරණවලට විරෝධී වනවාට වඩා ජනමතය නියෝජනය කිරීමට ‘දිනමිණ’ උත්සාහ කර තිබේ. මෙහිදී උදාහරණයක් ලෙස 1956 බණ්ඩාරනායක මහතාගේ ජයග්‍රහණය නියෝජනයට ‘දිනමිණ’ දායක නොවිණි.

නමුත් 1956න් පසුව ජනමතය නියෝජනය කිරීමට පෙළඹේ. මෙය ‘දිනමිණ’ ට සුවිශේෂී ලක්ෂණයක් වූ බව කිව හැකි ය. එනම් තීරණාත්මක මොහොතකදී විරුද්ධව මතය දැක්වුණ ද එය ජනමතය වූ විට ඒ හා අනුගතවීම ‘දිනමිණ’ තුළ සුවිශේෂී ලක්ෂණයක් විය.

‘දිනමිණ’ පුවත්පත ආරම්භයේ සිටම වාමාංශික ව්‍යාපාරය සමඟ විශාල ගැටුමක් තිබුණි. ‘ලේක් හවුස් අල්ලා ගනිව්!, සම සමාජය අච්චු ගසව්!” යනුවෙන් වාමාංශික ව්‍යාපාරය සටන් පාඨ පවා ගෙන යන්නේ එහෙයිනි. නමුදු මෙය සමහන් කිරීමට ‘දිනමිණ’ වත් ලේක් හවුස් ආයතනයවත් උත්සාහ නොකරයි. එහි ප්‍රතිඵලය වූයේ 1964 දී පුවත්පත් කොමිසම විසින් ලේක්හවුස් ආයතනයේ ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීමය.

ඒ අනුව 1972 දී රජයට පවරා ගැනීම ද සිදුවේ. ‘දිනමිණ’ ඉතිහාසය දෙස විමසීමේදී එය රජයට පවරා ගැනීම ගැටලු සහගත බවට විශ්වාසයක් අප තුළ පවතී. ලංකාව වැනි රටක කර්තෘවරයා පමණක් මූලිකව පුවත්පත් ක්‍රියා කරනු වෙනුවට සාමුහික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය වීමට ලේක්හවුස් ආයතනයට හැකිවිය. නමුත් රජයට පවරා ගැනීමත් සමඟම එය ප්‍රශ්න කාරි වූ බව කිව හැකිය.

‘දිනමිණ’ පුවත්පතක් ලෙස ගෙවා ඇති සිය වසරක ගමන් මඟ තුළ එය ලංකාවේ සෑම අවධියක්ම නියෝජනය කළ පුවත්පතකි. ඒ අනුව යටත් විජිත අවධිය, ඩොමීනියන් නිදහසකට යටත්වූ අවධිය, ජනරජයක් ව තිබූ අවධිය.

ආචාර්යරෝහණ ලක්ෂ්මන් පියදාස කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශය

එමෙන්ම කර්තෘ මූලික පුවත්පතක් ලෙසද සමාගමක පුවත්පතක් ලෙසත්, රාජ්‍ය කේන්ද්‍රීය පුවත් පතක් ලෙසත් අවධි ගණනාවක් ‘දිනමිණ’ නියෝජනය කර තිබේ. මෙවැනි සුවිශේෂී ඉතිහාසයක් මෙරට කිසිම පුවත්පතකට උරුම වී නැත.

එමෙන්ම එලෙස ලංකාවේ පැවැති සෑම දේශපාලන තත්ත්වයකටම ඔබින අයුරින් හැඩ ගැසීමට එය සමත් විය. නමුත් එසේ හැඩ ගැසීමට ඇති නොහැකියාව හේතුවෙන් මෙරට පුවත්පත් ගණනාවක් වැසී ගියේය.

අධිරාජ්‍යවාදී යුගයේ පැවැති පුවත්පත් පශ්චාත් යටත් විජිත යුගයේ වැසී ගියේ අනුගත වීමට ඇති නොහැකියාව නිසාය. ‘දවස’ වැනි ආයතන රජය සමඟ විශාල ලෙස ගැටිණි. ලේක් හවුසියද ගැටිණ.

නමුදු දවස වැසී යන්නටත්, ලේක් හවුසිය සුරැකෙන්නටත් හේතුවූයේ එල්ල වූ සියලු අභියෝග දරා ගනිමින් නම්‍යශීලී පුවත්පත් කලාවක් එහි තිබුණ බැවිනි. එසේ බලන විට ‘දිනමිණ’ මෙන්ම ලේක් හවුසියද සුවිශේෂී ය.

සටහන මලික් චමින්ද ධර්මවර්ධන

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්