සියක් වසරට පාඨක සුබ පැතුම්

සියක් වසරට පාඨක සුබ පැතුම්

උදිත ගුණවර්ධන

පුවත්පතක සාර්ථකත්වය හා ඉදිරි පැවැත්ම සඳහා මූලික පදනම සකසා ලන්නේ පාඨකයාය. එමෙන්ම පුවත් පතක් ප්‍රභාමත් කරන ආලෝකය සපයන්නා ලෙසද පුවත් පාඨකයා හඳුන්වාදිය හැකිය.

අද අප හමුවන්නේ ‘දිනමිණ’ පුවත් පතේ ඉදිරි ගමනට ශක්තියක් වූ ලක්ෂ සංඛ්‍යාත පාඨක ප්‍රජාවගෙන් කිහිප දෙනෙකි.

 

 

අවුරුදු පනහක් පුරා මම ‘දිනමිණ’ පාඨකයෙක්

ලයනල් හේමචන්ද්‍ර , බටුවත්ත

අවුරුදු පනහක් විතර මම ‘දිනමිණ’ පත්තරය බලනවා. මං පත්තර බලන්න හුරු වුණේ ‘දිනමිණ’ නිසා.

මට ‘දිනමිණ’ පුවත්පත හුරු වුණේ පුංචි කාලේ දී. එදා ඒ පුරුද්ද තාම තියෙනවා.

අද වුනත් පත්තරයක් ගන්න ගියොත් මුලින්ම අත යන්නේ ‘දිනමිණට’ ඒ තරමටම මම ‘දිනමිණ’ පත්තර ලෝලියෙක්. ‘දිනමිණ’ විතරක් නෙමෙයි ලේක්හවුස් පත්තර ඔක්කොම ඉතාමත් උනන්දුවෙන් කියවනවා.

මම නම් ‘දිනමිණ’ පුවත්පතේ අන්තර්ගතය ගැන ඉතාමත් ඉහළ සතුටක් පළ කරනවා. මම මුලින්ම ‘දිනමිණ’ මිලදී ගනිද්දී සත දහයයි.

අද රුපියල් විස්සයි. ඒකෙන්ම වුනත් තේරෙනවා මම කොයිතරම් පරණ ‘දිනමිණ’ පාඨකයෙක් ද කියලා.

මේ අවුරුදු පනහට එක එක මට්ටමේ පත්තර වෙළෙඳ පොළට ආවා ගියා. ඒත් මොන විදිහේ පත්තර තිබුණත් ‘දිනමිණේ’ පාඨක ආකර්ශනය බිංදුවක්වත් පල්ලෙහාට වැටුණේ නැහැ.

අද වෙද්දී ‘දිනමිණ’ පත්තරේට අවුරුදු සීයක් සපිරෙද්දී එහි පාඨකයෙක් විදිහට මට විශාල සන්තෝෂයක් තියෙන්නේ. මේ වෙලාව මම යොදා ගන්නවා සියවස සමරන දිනමිණට සුබ ප්‍රාර්ථනා කිරීමට.


‘දිනමිණ’ හා අපි අතර බැඳීම ප්‍රබලයි

සී . ගුණවර්ධන- වත්තල

මම දහවල් කෑම පැයේ දී පුරුද්දක් විදිහට හැමදාම ‘දිනමිණ’ පුවත් පත කියවනවා ඒ පුරුද්ද ඇති වෙලා දැන් අවුරුදු විස්සකට වැඩියි.

අදත් ඔබට හමුවෙන්න මොහොතකට කලින් මම ‘දිනමිණ’ කියෙව්වා. එතරමටම මගේත් දිනමිණත් අතර සම්බන්ධයක් ඉතාම ප්‍රබලයි.

මං පත්තරයට තියෙන හිතවත්කම ආදරය හින්දම එක දෙයක් කියන්න ඕනෑ. පුවත්පතේ සමබරතාවය පසුගිය අවුරුදු තිහේ දී ටිකක් එහෙ මෙහෙ වුණා. ඒත් මම නම් කැමැති ‘දිනමිණ’ මෙයිට වැඩිය සමබර වෙනවා නම්.

පාඨකයන්ගේ ආකර්ශණය තව දුරටත් දිනා ගන්න පුලුවන්. පත්තරේ ප්‍රවෘත්තිවල ඒ විදිහේ තත්ත්වයක් තිබුණාට අභ්‍යන්තරයේ නම් හොඳ ලිපි පළවෙනවා.

ළමයින් පළ කරන ප්‍රශ්න පත්‍රය , ළමා පිටුව , හිර ගෙදර කතා මම ඉතාමත් උනන්දුවෙන් කියවනවා.


මගේ ප්‍රියතම පුවත්පත ‘දිනමිණ’

ඩබ්ලිව්. හේමචන්ද්‍ර - දෙහිඕවිට

මගේ ප්‍රියතම පත්තර අතර දිනමිණ පුවත්පතට ඉතාමත් ඉහළ තැනක් තියෙනවා. එදත් අදත් ‘දිනමිණ’ට මගේ විශාල කැමැත්තක් තිබුණා. මම කැමැති මේ පත්තරේ තියෙන ප්‍රමිතියට. සමහරු ශීඝ්‍ර ජනප්‍රියත්වය සොයා ගෙන යනවා.

ඒ සඳහා විවිධ ආකාරයේ පහළ මට්ටමේ උපක්‍රම යොදනවා. ඒත් ‘දිනමිණ’ එහෙම බොළඳ ජනප්‍රියත්වය පස්සේ ගිහිල්ලා තමන්ගේ කීර්තිය විනාශ කර ගත්තේ නැහැ. ඒක තමයි දිනමිණේ සියවසක ගමනේ රහස.

විජයවර්ධන මහත්මයා ‘දිනමිණ’ පාලනය කරන කාලයේ දී වගේම රජය පාලනය කරන මේ වකවානුවේදීත් ‘දිනමිණේ’ ස්ථාවරයේ වෙනසක් වුණේ නැහැ.

අද වෙද්දී දේශපාලනිකව කිසියම් ඒක පාර්ශවීය බවක් තිබුණත් එයින් පත්තරයේ අන්තර්ගතයට බලපෑමක් වෙලා නැහැ.


අවුරුදු සියයක් පුරා පත්තරයක් පළවීම ආශ්චර්යයක්

සුසන්ත වීරසිරි- කොළඹ

මාත් ඉතාමත් ආසාවෙන් හැමදාම ‘දිනමිණ’ කියනවා. ඒ කැමැත්ත අද ඊයේ ඇති වෙච්ච කැමැත්තක් නෙමෙයි දිගු කාලයක ඉඳලා ‘දිනමිණ’ බලනවා. මට හිතෙන විදිහට ‘දිනමිණ ‘පත්තරය අවුරුදු සීයක් ජීවමාන පත්තරයක් විදිහට තිබීම පවා ආශ්චර්යක්.

සිංහල පත්තර අතර ‘දිනමිණ’ තරම් පැරැණි පත්තරයක් නැහැ. ඒ විදිහේ පත්තරයක් කියවන පාඨකයෙක් විදිහට ලොකු සන්තෝෂයක්.

අද පත්තර අතර ‘දිනමිණ’ විශාල පිළිගැනීමක් තියෙනවා. සමහරු විවිධ චෝදනා එල්ල කරනවා ඇති. ඒත් ‘දිනමිණ’ට තියෙන පොදු පාඨක පිළිගැනීම හා ආදරය වෙනස් කරන්න කාටවත් බැහැ.


යුග කාර්යභාරයක් ඉටු කළ පුවත් පතක්

එල්. එම්. විල්සන් - කොටිකාවත්ත

ඉතාමත් හොඳ ප්‍රවෘත්ති විශේෂාංග ‘දිනමිණ’ පුවත්පතේ පළ වෙනවා. මම ඉතාමත් කැමැත්තෙන් ‘දිනමිණ’ පුවත්පත් කියවනවා.

මාත් අවුරුදු පනහක් විතර ‘දිනමිණ’ කියවනවා. මට හිතෙන විදිහට ‘දිනමිණ’ පත්තරේ අවුරුදු සීයක් තිස්සේ යුග කාර්ය භාරයක් ඉෂ්ඨ කළා. ජනතාවට විශාල චනුම් සම්භාරයක් ලබා දුන්නා.

මට හිතෙන්නේ ‘දිනමිණ’ කියන්නේ දැනුම තොරතුරු බෙදන විශ්ව කෝෂයක් විදිහට හඳුන්වන එක පුවත්පතට සිදුකරන ගෞරවයක්.

අද සමාජයේ ප්‍රබල තැන්වල සිටින අයගේ සිට පහළම මට්ටමේ පුද්ගලයා දක්වා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ‘දිනමිණ’ පත්තරේ බලනවා.

අපි පුංචි කාලේ ඉඳන් නොවෙනස් වෙච්ච දෙයක් තියෙනවානම් ඒ ‘දිනමිණ’ පුවත්පත විතරයි. මේ කාලයේ දී විවිධ මාධ්‍ය ඇති වුණා ඒත් මේ හැම දෙයක් අතරම ‘දිනමිණ’ ඉහළින් වැජඹුණා. එදා පමණක් නෙමෙයි අදත් හෙටත් ඒ දේ වෙනස් වෙන්නේ නැහැ.

‘දිනමිණ’ පාඨකයෝ දවසින් දවස ඉහළ යනවා විතරක් නෙමෙයි පාඨකයෝ අලුත් වෙනවා. අද ජනතාවට සත්‍ය හා අලුත්ම තොරතුරු සපයන මාධ්‍යක් බවට දිනමිණ පුවත්පත පත්වෙලා තියෙන්නේ.


‘දිනමිණ’ රට අවුලවන පත්තරයක් නොවෙයි

ගිමන්ති වන්නිආරච්චි-මොරටුව

අද පත්තර නම් ඕනෑ තරම් තියෙනවා ඒත් ඒ අතරින් මහජනතාවට ඇත්ත කියන පත්තර තියෙන්නේ කීයෙන් කීයද , ගොඩක් පත්තර වල ඇත්ත කියලා පෙන් වන්නේ බොරුව.

මං නම් වශයෙන් ඒ පත්තර මොනවාද කියලා කියන්න කැමැති නැහැ. ඒත් ‘දිනමිණ’ පත්තරය නම් ඒ විදිහට කටයුතු කරන පත්තරයක් විදිහට නෙවෙයි කියලා මම හිතන්නේ.

‘දිනමිණ’ පුවත්පත බොරු කියනවා කියලා කවුරු හරි කියනවා ඒක මම ප්‍රතික්ෂේප කරනවා. අද සමහර විකල්ප ධාරාවේ පුවත්පත් කිසියම් සිද්ධියක් සිදු නොවුනත් ඒක සිද්ධ වෙච්ච දෙයක් විදිහට ප්‍රචාරය කරනවා.

ඒත් ‘දිනමිණ’ පුවත්පත එහෙම නෙමෙයි හැම වේලාවේම පදනමක් තියෙන ප්‍රවෘත්තියක් තමයි පළ කරන්නේ.

ප්‍රවෘත්ති විතරක් නෙමෙයි සාහිත්‍ය කලා අංශ වලිනුත් ‘දිනමිණ’ පාඨකයන්ට විශාල දැනුමක් ලබා දෙනවා. අවුරුදු සීයක් පැවැති ‘දිනමිණ’ තවත් අවුරුදු සීයක් මුද්‍රිත මාධ්‍ය ලෝකයේ ප්‍රමුඛයා විදිහට වැජඹේවා යන්න තමයි මගේ ප්‍රාර්ථනය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්